ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය අතර සම්බන්ධතාවය පැහැදිළි කිරීමට පෙර, ඔසප් චක්‍රය (Menstrual cycle) පිළිබඳව සාමාන්‍ය කරුණු කිහිපයක් දැනගනිමු. ඔසප් චක්‍රයේ ස්වභාවය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. සාමාන්‍යයෙන්, ඔසප් වීම (Menstruation) සිදුවන කාල සීමාව දින 3 ත් දින 7 ත් අතර අගයක් ගනී. මෙහිදී, රුධිරය වහනය වන ප්‍රමාණයේ සාමාන්‍යය මිලිලීටර් 35 ක් වේ. කාන්තාවක් ඔසප් අවධිය පසුකල විට, ඔසප් චක්‍රයේ ස්‍යුනික අවධියට (Follicular phase) එළඹේ. එහිදී, ගර්භාෂයේ බිත්තියේ ඇතුළු පැත්තෙහි පටක (අන්තෝමාතෘකය හෙවත් ගර්භක්ෂේත්‍රය/Endometrium) ක්‍රමයෙන් ඝනකම් වීමට පටන් ගනී. එක් ඩිම්බ කෝෂයක ස්‍යුනිකාවක් (Follicle) නැවත ඩිම්බයක් මුදාහැරීම සඳහා ක්‍රමයෙන් වර්ධනය වේ. ඔසප් වීමේදී ඇතිවන ලක්ෂණ ද කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ.
ආර්තවරීතය හෙවත් ප්‍රදරය (Menorrhagia) යනු ඔසප් වීමේදී, අසාමාන්‍ය ලෙස සහ අධිකව රුධිරය වහනය වීමයි. එහිදී, එක් චක්‍රයක් තුළදී මිලිලීටර් 80 කට වඩා රුධිරය වහනය වීම සිදුවේ.
ව්‍යායාම කිරීමෙන් ඔසප් වීම සිදුවෙන කාල සීමාව මෙන්ම රුධිරය වහනය වන ප්‍රමාණය ද අඩුවන බව ඔබ දැන සිටියාද? නමුත්, එය සාධක කිහිපයක් මත රඳා පවතී. ඔබ කරන ව්‍යායාම වල තීව්‍රතාවය (Intensity), නිතර ව්‍යායාම කරන්නේ ද (Regularity), සහ වැඩි දින ගණනක් හෝ වැඩි තීව්‍රතාවයකින් රුධිරය වහනය වීමට බලපාන අභ්‍යන්තර හේතු යන සාධක මත ඔබගේ ඔසප් චක්‍රයේ ස්වභාවය රඳා පවතී.
ඔබ මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතුව පසුවේ නම් සහ නිතිපතා ව්‍යායාම කරන්නේ නම්, ඔබගේ ඔසප් වීම සිදුවන දින ගණන සහ තීව්‍රතාවය අඩුවීම සිදුවේ. ඇතැම් විට, ඔසප් වීම සිදුවන අතර උදරයේ වේදනාව, මස් පෙරලීම, හෝ බඩ පුරවා දැමීම සිදුවන අවස්ථා ඇත. ඇවිදීම, පිහිනීම, සෙමින් දිවීම, සහ යෝග ව්‍යායාම වැනි මද තීව්‍රතාවයකින් හෝ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Mild to moderate-intensity exercises) කිරීම මගින් ශරීරයේ ඇති අතිරික්ත ජලය ඉවත්වී, රුධිර සංසරණය කාර්යක්ෂම වේ. මෙම ක්‍රියාවලිය, උදරයේ වේදනාව, මස් පෙරලීම, සහ බඩ පුරවා දැමීම සමනය කරයි. නිතිපතා ව්‍යායාම කිරීමෙන්, ව්‍යායාම කරන අතරතුර මොළයේ හයිපොතැලමස සහ පිටියුටරි ග්‍රන්ථිය (Hypothalamus and pituitary gland) වැනි කොටස් වලින් අන්තෝජනක මෝෆීන් (Endogenous morphine/Endorphins) නැමැති වේදනා නාශක රසායන ද්‍රව්‍යයක් ශ්‍රාවය වේ. එය, ඔසප් වීම සිදුවන කාලයේදී ඇතිවන හිසරදය, ශරීරයේ වේදනා, නොරුස්සනා සුලුබව, වෙහෙස, සහ වේදනාකාරී මස් පෙරලීම් ආදිය වැළැක්වීමට සමත් ය. නිතර ශරීරය ඇදෙනසුලු ව්‍යායාම (Stretching exercises) කිරීමද, කලවා, පිට, සහ උදරයේ මාංශ පේශීන් ලිහිල් කරන බැවින් වේදනා කැක්කුම් සමනය වේ.
නමුත්, ඔබ නිතර අධික තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Vigorous or high-intensity exercises) කරන්නේ නම්, ඔබේ ශරීරය හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම් වන ආකාරයට හැඩගැසීමට (Rescue mode) ඉඩ ඇත. ඔබගේ උසට සරිලන ප්‍රමාණයට වඩා ඔබගේ ශරීරයේ බර අඩු නම්, මෙය විශේෂයෙන් සිදුවේ. සාමාන්‍යයෙන්, අධික තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම සඳහා අධික ශක්තියක් වැයවේ. එමනිසා, ඔබගේ ශරීරය ශක්තිය ඉතිරි කරගැනීම සඳහා ඔසප් චක්‍රය ඇතුළුව ශරීරයට අත්‍යාවශ්‍ය නොවන ක්‍රියාවලි කිහිපයක් නතර කිරීමට කටයුතු කලහැක. ඔබගේ ඔසප් චක්‍රය ජීවත්වීමට අත්‍යාවශ්‍ය නොවන බැවින්, මෙහිදී ඔබගේ ඔසප් වීම නතරවීම සිදුවේ. එවැනි අවස්ථාවක, ඔබ ව්‍යායාම වල තීව්‍රතාවය ක්‍රමයෙන් අඩුකර, අවශ්‍ය ප්‍රමාණයට කැලරි සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්නේ නම්, නැවත ඔසප් වීම ආරම්භ වීම සිදුවේ.
ඉඳහිට සිදුවන අධික ඔසප් වීම පිළිබඳව කලබල වීමට අවශ්‍ය නැත. එහෙත්, දිගුකාලීනව අක්‍රමවත් ලෙස, වැඩි දින ගණනක්, හෝ අධිකව රුධිරය වහනය වේ නම්, එය යම්කිසි අභ්‍යන්තර හේතුවක් මත සිදුවිය හැක. ඩිම්බ කෝෂ වල ක්රියාකාරීත්වයේ ගැටළු, ගර්භාෂයේ ඇතිවන තන්ත්වාභ (Fibroids) නැමැති ගෙඩි වර්ගය, හෝ හෝමෝන අසමතුලිතතා එයට හේතු වියහැක. ඇතැම් විට, ලේ කැටි ගැසීමේ යාන්ත්‍රණ ආශ්රිත රෝග (Blood clotting disorders), තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග, හෝ ඇතැම් පිළිකා නිසා ද එසේ වීමට හැකියාව ඇත. එමනිසා, ඔබට කලක් තිස්සේ අසාමාන්‍ය ලෙස අධිකව, අක්‍රමවත්ව, හෝ දිගුකාලයක් ඔසප් වීම සිදුවේ නම්, එයට හේතුව නිර්ණය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවීම කල යුතුවේ.
(ඡායාරූප අනුග්‍රහය: Earl McGehee)
සබැඳි ලිපි:
වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?
© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
ප්ර්ර්ර්රශංසනීය සත්කාරයකි
ස්තූතියි