අර්ශස් අමාරුව (Haemorrhoids) සඳහා රක්තාරිතාභය සහ මූලරෝගය යන නම්ද භාවිතා වේ. ගුද මාර්ගයේ සහ ගුදයෙහි ඇති ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමී, නෙරා විත්, ප්‍රදාහයක් ඇතිවීම අර්ශස් අමාරුව ලෙස හැඳින්විය හැක. මෙය ගුද මාර්ගයේ සහ ගුදයේ නහර ගැටගැසීමක් ලෙසත් හැඳින්වීමට පුලුවන. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 30 ට පසු, ජනගහණයෙන් භාගයකට වඩා මෙම රෝගයෙන් පීඩා විඳී.
අර්ශස් අමාරුව ආකාර දෙකකින් පවතී. ඒ බාහිර සහ අභ්‍යන්තර අර්ශස් අමාරුව ලෙසිනි.
බාහිර අර්ශස් අමාරුව (External haemorrhoids)
බාහිර අර්ශස් අමාරුව ගුද විවරය ආසන්නයේ ඇතිවන අතර, රක්තාරිතාභ (Haemorrhoids) සමෙන් ආවරණය වී පවතී. සාමාන්‍යයෙන් ඒවා වේදනාකාරී නොවේ. නමුත්, රක්තාරිතාභය තුළ ලේ කැටියක් (Blood clot) ඇතිවුවහොත්, එය දැඩි වී, වේදනාකාරී ගෙඩියක් බවට පත්විය හැක. එවැනි ගෙඩියක් පිපුරුවහොත්, රුධිර වහනයක් සිදුවීමට පුලුවන.
අභ්‍යන්තර අර්ශස් අමාරුව (Internal haemorrhoids)
අභ්‍යන්තර රක්තාරිතාභ ගුද මාර්ගයේ සහ ගුදයේ මෘදු පටක ආස්තරණයට යටින් ඇතිවේ. මළපහ පිටකරන විට, ගුදයෙන් එලියට ගෙඩි ලෙස නෙරා ඒම සහ වේදනාවක් රහිතව රුධිර වහනය වීම සිදුවිය හැක. රක්තාරිතාභ සම්පූර්ණයෙන් ගුද විවරයෙන් එළියට පැමිණි පසු දැඩි වේදනාවක් ඇතිවිය හැකි අතර, නැවත ඇතුළට තල්ලුකිරීම කල නොහැකි වේ.
අර්ශස් අමාරුව ඇතිවීමට හේතු සහ අවදානම් සාධක
- වයස්ගත වීම.
- දිගුකාලීන කැස්ස.
- දිගුකාලීන මළබද්ධය.
- දිගුකාලීනව දියර ලෙස මළපහ පිටවීම.
- ගර්භණීභාවය.
- මළපහ කිරීමේදී තැටමීම.
- පරම්පරාවෙන්.
- බඩ විරේක කිරීම සඳහා විරේචන ඖෂධ (Laxatives) අනිසි ලෙස වැඩිපුර භාවිතා කිරීම.
- තරබාරුකම.
- ගුද සංසර්ගය.
අර්ශස් අමාරුවේ රෝග ලක්ෂණ
- මළපහ කරන විට ගුදයෙන් වේදනා රහිතව රුධිර වහනය සිදුවීම.
- මළපහ කරන විට ගුදයෙන් ගෙඩි හෙවත් රක්තාරිතාභ එළියට නෙරා ඒම.
- ගුද මාර්ගය අවට කැසිල්ලක් ඇතිවීම.
- ගුද මාර්ගයේ වේදනාවක් සහ අපහසුතාවයක් ඇතිවීම.
- ගුද විවරය ආසන්නයේ ඉදිමුමක් ඇතිවීම.
අර්ශස් අමාරුව නිසා ඇතිවිය හැකි සංකූලතා
- දිගුකාලීන රුධිර වහනය නිසා රක්තහීනතාවය (Anaemia) ඇතිවීම.
- ආසාදනය වීම. මළපහ වල ඇති රෝගකාරක රුධිරයට ඇතුළුවීමෙන් රුධිරයේ ආසාදන (Septicaemia) ඇතිවිය හැක.
- අධික රුධිර වහනය.
- රක්තාරිතාභ වල රුධිර සංසරණය අවහිර වුවහොත් (Strangulation of haemorrhoids), දැඩි වේදනාවක් ඇතිවිය හැකි අතර, එහි පටක මියයාම (Gangrene) සිදුවිය හැක.
- තුවාළ හටගැනීම.
- රක්තාරිතාභ වල තන්තුමතාවය (Fibrosis) ඇතිවීම. මෙහිදී ගුදයේ පටක වල ඇදෙනසුලු බව නැතිවන බැවින්, වේදනාව සහ නොදැනුවත්වම මළපහ ස්වල්ප වශයෙන් එළියට වහනය වීම සිදුවිය හැක.
අර්ශස් අමාරුව සඳහා කලහැකි ප්‍රතිකර්ම මොනවාද?
ජීවන රටාව වෙනස් කිරීම සහ ගෘහස්ථ ප්‍රතිකර්ම
- මද වශයෙන් රෝග ලක්ෂණ ඇතිවිට, තන්තු බහුල එළවලු සහ පළතුරු වැනි ආහාර වැඩිපුර ගැනීම සහ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම කල හැක.
- මළපහ කරන විට, තැටමීමෙන් වලකින්න.
- වැඩි වේලාවක් වැසිකිලියේ වාඩිවී සිටීමෙන් වලකින්න.
- මද උණුසුම් ජලය බේසමකට දමා, පසුපස ප්‍රදේශය විනාඩි 15 ක් පමණ එහි ගිල්වාගෙන සිටින්න (Sitz bath). මද උණුසුම් ජලයට ලුණු මිටක් ද එක්කිරීමෙන්, රෝග ලක්ෂණ වඩාත් සමනය වේ.
- ගුදය අවට නිතර පිරිසිදුව තබාගන්න.
- ඔබ වැසිකිලි කඩදාසි (Toilet papers) භාවිතා කරන්නේ නම්, වියලි ඒවා භාවිතා කිරීමෙන් වලකින්න. භාවිතා කිරීමට පෙර වැසිකිලි කඩදාසි තෙත් කරන්න.
- ගුදය අවට අයිස් කැට යොදාගෙන තැවීමෙන් ඉදිමුම අඩුවේ.
- වේදනාව අඩු කරගැනීමට වේදනා නාශක ඖෂධ (Pain killers) භාවිතා කල හැක.
- රක්තාරිතාභ සඳහා භාවිතාකරන, වෛද්‍යවරයෙකුගේ ප්‍රලේඛණයකින් තොරව ගතහැකි ක්‍රීම් සහ ගුද මාර්ගයට ඇතුළුකරන ඖෂධ (Suppository) වර්ග ද භාවිතා කල හැක.
- ඇඳේ පාද තබන පැත්ත මදක් ඔසවා තබා නිදාගැනීමට හුරුවීමෙන්, රක්තාරිතාභ වල ඉදිමුම අඩුවේ.
මෙම ප්‍රතිකර්ම අනුගමනය කිරීමෙන්, අර්ශස් අමාරුව නිසා ඇතිවන බොහොමයක් රෝග ලක්ෂණ දින 2-7 කින් සමනය වේ. දැඩි රක්තාරිතාභ සති 4-6 කින් පමණ අඩුවී යයි.
උග්‍ර අර්ශස් අමාරු සඳහා කරන විශේෂිත ප්‍රතිකර්ම
රක්තාරිතාභයක ඇතුළත ලේ කැටියක් ඇතිවීමෙන් හටගන්නා දැඩි වූ ගෙඩි, හිරි වැට්ටවීමෙන් අනතුරුව කුඩා කැපුමක් යොදා ඉවත්කල හැක.
රක්තාරිතාභ බැඳීම (Ligation of haemorrhoids). මළපහ කරන විට එළියට නෙරා එන අභ්‍යන්තර රක්තාරිතාභ විශේෂිත රබර් පටි (Rubber bands) යොදා බැඳීම කල හැක. එවිට, දින කිහිපයකින් එම රක්තාරිතාභය සහ රබර් පටිය ගැලවී වැටෙන අතර, සති 1-2 කින් පමණ තුවාළය සුව වේ.
නික්ශේපන (Injection) මගින් ආතංචනය (Coagulation) කිරීම. එළියට නෙරා නො එන සහ රුධිරය ගැලීම සිදුවන රක්තාරිතාභ වලට නික්ශේපන භාවිතා කර කැටිගැසීමට සලස්වයි. එවිට, ක්‍රමයෙන් රක්තාරිතාභය හැකිලී යයි.
රක්තාරිතාභ වලට ස්ටේපල යෙදීම (Stapling of haemorrhoids). අභ්‍යන්තර රක්තාරිතාභ ස්ටේපල යොදා කපා ඉවත්කිරීම සිදුකල හැක. බාහිර රක්තාරිතාභ ස්ටේපල යෙදීමෙන් හැකිලී යනමුත්, ගැලවී නොවැටේ.
රක්තාරිතාභ ශල්‍යකර්මයකින් ඉවත්කිරීම (Haemorrhoidectomy). සිහි නැතිකර හෝ හිරිවැට්ටීමෙන් අනතුරුව, අභ්‍යන්තර සහ බාහිර රක්තාරිතාභ ශල්‍යකර්මයක් මගින් ඉවත්කිරීම කල හැක. මෙය සිදුකරන්නේ,
- බාහිර රක්තාරිතාභ තුළ නැවත නැවත ලේ කැටි ඇතිවන විට.
- අභ්‍යන්තර රක්තාරිතාභ බැඳීම අසාර්ථක වූ විට.
- ගුදයෙන් එළියට නෙරා එන ගෙඩි යලි ඇතුලට දැමීම කල නොහැකි වූ විට.
- රක්තාරිතාභ වලින් දිගටම රුධිරය වහනය වන විට.
(ඡායාරූප අනුග්‍රහය: Lindsey Turner)
© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අර්ශස් අමාරුව සුව කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්