කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාදනය හෙවත් පැතිරීම සිදුනොවන රෝග බෝනොවන රෝග (Non-communicable disease/NCD) ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට හේතුව බෝනොවන රෝග ලෙස හැඳින්විය හැක. එයින්, අංක එකේ මාරයා හෙවත් වැඩිම මරණ සංඛ්‍යාවකට දායකත්වය දක්වන්නා හෘදයාබාධ ලෙස හැඳින්විය හැක. එයට අමතරව අංශභාගය, පිළිකා, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි බෝනොවන රෝග ද, සෘජුව හෝ වක්‍රව සැලකියයුතු මරණ සංඛ්‍යාවකට දායකත්වය දක්වති.
වාසනාවකට මෙන්, මෙම බෝනොවන රෝග බොහොමයක් ඇතිවීමට ඇති අවදානම සැලකියයුතු ලෙස අඩු කරගැනීමට දිනපතා ක්‍රියාශීලී වීමෙන් හැකියාව ලැබේ.
ක්‍රියාශීලී වීමෙන් අපට ලැබෙන වාසි මොනවාද?
- හෘදය සහ පෙනහළු ශක්තිමත් හා නිරෝගී වේ.
- හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, අංශභාගය වැනි බෝනොවන රෝග ඇතිවීමට ඇති අවදානම අඩුවේ.
- සන්ධි ප්‍රදාහ හෙවත් ආත්රයිටිස් වැළඳීමට ඇති අවදානම අඩුවේ.
- මාංශ පේශි, අස්ථි, සහ සන්ධි සවිමත් වී, නිරෝගී වේ.
- ශරීරයේ බර පාලනය කිරීමට හැකියාව ලැබේ.
- මානසික තෘප්තියක් ලැබේ.
- හැඩැති රුවක් පවත්වාගැනීමට හැකියාව ලැබේ.
- ඇදුම රෝගය වැළඳීමට ඇති අවදානම අඩුවේ.
- ඔබට දැනටමත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික ලෙස කොලෙස්ටරෝල්, ආත්රයිටිස්, ඇදුම වැනි රෝග ඇත්නම්, ඒවා පාලනය කිරීමට හැකියාව ලැබේ.
ඔබගේ ජීවිතයත් ක්‍රියාශීලී කරගන්නේ කෙසේද?
එදිනෙදා වැඩ කටයුතු කරන විට, ඒවා සක්‍රීයව කිරීමට උත්සාහ කරන්න. ඇවිදීම, කඳු නැගීම, පඩි නැගීම, ගෙවතු වගාව, පිහිනීම, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම, ක්‍රීඩාවක නිරත වීම, ව්‍යායාම කිරීම, සහ නර්ථනය වැනි ශාරීරික ක්‍රියාකාරකම් නිතර කිරීමෙන් ඔබගේ ජීවිතයත් සක්‍රීය කරගත හැක.
එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමේදී සක්‍රීය වන්නේ කෙසේද? හැකි සෑමවිටම පයින් ගොස් කටයුතු කරගැනීමට පුරුදු වන්න. විදුලි සෝපානය වෙනුවට පඩි නැගීම තෝරා ගන්න. ඔබ බසයෙන් ගමන් ගන්නේ නම්, බසයෙන් බැසීමට නියමිත ස්ථානයට, නැවතුම් කිහිපයකට පෙර බසයෙන් බැස පයින් ගමන් කරන්න. ගෙදර දොර ක්‍රියාකාරකම් කිරීමේදී, හැකිතරම් විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීමට උත්සාහ ගන්න. මිරිස් ඇඹරීම, රෙදි සේදීම, කුල්ලෙන් පෙලීම, සහ වංගෙඩියේ කෙටීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. ගෙවත්තේ ළිඳක් තිබේ නම්, නාන කාමරය භාවිතාකිරීම වෙනුවට ළිඳෙන් වතුර ඇද ස්නානය කලහැක.
බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගනිමින්, නිරෝගී දිවියක් ගතකිරීම සඳහා කොපමණ වේලාවක් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදිය යුතුද? වයස අවුරුදු 5-17 ක් වන දරුවන් අවම වශයෙන් දිනකට පැයක් බැගින් දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවිය යුතුවේ. ඔබේ වයස අවුරුදු 18-64 ත් අතර වේ නම්, අවම වශයෙන් දිනකට විනාඩි 30 ක් බැගින්, අවම වශයෙන් සතියකට දින 5 ක් වත් ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලිය යුතුය. ඔබේ වයස අවුරුදු 65 හෝ එයට වැඩි නම්, දිනකට විනාඩි 30 බැගින් සතියකට දින 5 ක් ශාරීරික ක්‍රියාකාරකම් කල යුතුය.
ක්‍රියාශීලී වීමේදී, පළමුව අඩු තීව්‍රතාවයකින් යුතු ක්‍රියාකාරකම් තෝරාගෙන, අඩු වේලාවක් කිරීමෙන් ආරම්භ කරන්න. උදාහරණ වශයෙන්, මුලින් විනාඩි 10-15 ක් සෙමෙන් ඇවිදීමෙන් ආරම්භ කලහැක. ක්‍රමයෙන් ශාරීරික ක්‍රියාකාරකම්වල තීව්‍රතාවය සහ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන කාලය වැඩිකල හැක. උදාහරණ වශයෙන්, ක්රමාණුකූලව කඳු නැගීම, පිහිනීම, දිවීම, බයිසිකල් පැදීම, සහ නර්ථනය වැනි ශාරීරික ක්‍රියාකාරකම් තෝරාගැනීම කලහැක. සැමවිටම, ඔබ කැමති ක්‍රියාකාරකම් තෝරාගැනීමෙන්, ශාරීරික ක්‍රියාකාරකම් වල දිගටම නියැලීමට ඇති ප්රවනතාවය වැඩිවේ. ශාරීරික ක්‍රියාකාරකම් කරන අතරතුර හොඳින් හුස්ම ගන්න. තමාගේ ශරීරයට දරාගත නොහැකි තරමට හෝ හුස්ම ගැනීමට අපහසු වන තරමට ක්‍රියාකාරකම් කිරීමට උත්සාහ ගන්න එපා. ඔබේ පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් හා එක්ව ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමෙන්, සැමට ආස්වාදයකින් යුතුව කාලය ගතකිරීමට අවස්ථාව සැලසේ. ඔබට දිගුකාලීනව යම් රෝගී තත්ත්වයක් ඇත්නම්, ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම උචිත වේ.
(ඡායාරූප අනුග්‍රහය: Peter Mooney)
සබැඳි ලිපි:
දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!" පිළිබඳ ඔබේ අදහස්