ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි?

ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි?

වර්තමාන සමාජයේ, බොහොමයක් දරුවන් ක්‍රියාශීලී නොවන අතර, දෙමව්පියන් ද ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වයි. මක්නිසාද, පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ වැනි විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන සහ ජීවන රටාව, දරුවන් ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඈත් කිරීමට සමත්ව ඇත. බොහෝ දෙමව්පියන් ද, තම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි සිතා, දරුවා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් වළක්වති. මෙම ක්‍රියාවලිය, දරුවා නිරෝගී උගතෙකු කරනු වෙනුවට, දරුවා අනාගතයේදී රෝගී පුද්ගලයෙකු වීමට ඇති අවදානම වැඩිකරමින් පවතින බව පෙනේ. ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි?

ඔබේ දරුවා ක්‍රියාශීලී නොමැති නම්, ඔහුට හෝ ඇයට අනාගතයේදී ස්ථුලභාවය, දියවැඩියාව, හෘදයාබාධය, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම, සහ ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිවේ. විශේෂයෙන්, ගැහැණු දරුවෙකු ක්‍රියාශීලී නොවීම නිසා ශරීරයේ බර වැඩි වුවහොත්, අනාගතයේදී ඇයගේ මාසික ඔසප් වීම අක්‍රමවත් වීමට සහ මද සරුභාවය (Sub-fertility) ඇතිවීමට හැකියාව වැඩිවේ. ඒ, බර වැඩිවීම ඇයගේ ශරීරයේ සාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරන බැවිනි.

ඔබේ දරුවාගේ අනාගතය සෞඛ්‍ය සම්පන්න වීමට නම්, පහත සඳහන් පරිදි ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත විය යුතුය.

  • ඔබේ දරුවාගේ වයස අවුරුද්දකට අඩුනම්, විශේෂිත ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය නොවේ.
  • ඔබේ දරුවාගේ වයස අවුරුදු 1-3 ක් වේනම්, දිනකට පැය 1 1/2 ක් වත් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත විය යුතුය.
  • දරුවාගේ වයස 3-5 ක් වේනම්, දිනකට පැය 2 ක් වත් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත විය යුතුවේ.
  • ඔබේ දරුවාගේ වයස අවුරුදු 5 ට වැඩිනම්, දිනකට අවම වශයෙන් පැයක් බැගින් ශාරීරික ක්‍රියාකාරකම් වල හෝ ක්‍රීඩාවක නිරත විය යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් අවදියෙන් සිටින විට, පැයකට වඩා කාලයක් එක දිගට ශාරීරිකව අක්‍රීයව නොසිටිය යුතුය. එමෙන්ම, වයස අවුරුදු 5 ට වඩා වැඩි දරුවන් අවදියෙන් සිටින කාලය තුළ, පැය දෙකකට වඩා එක දිගට ශාරීරිකව අක්‍රීයව සිටීම සෞඛ්‍ය සම්පන්න නොවේ.

නිතර ශාරීරික ක්‍රියාකාරකම් කරන දරුවෙකුට තම සෞඛ්‍යය, ජීවිතය, සහ අධ්‍යාපනය වැඩිදියුණු කරගැනීම සඳහා වාසි රැසක් හිමිවේ.

  • මාංශ පේශි ශක්තිමත්ව වර්ධනය වේ.
  • හෘද වස්තුව සහ පෙනහළු ශක්තිමත් සහ නිරෝගී වේ.
  • අස්ථි වල ඝනත්වය වැඩිවී, ශක්තිමත් වේ.
  • කායික සහ මානසික දරාගැනීමේ හැකියාව වර්ධනය වේ.
  • ශරීරයේ නම‍යශීලීතාවය වර්ධනය වේ.
  • ශාරීරික ක්‍රියාකාරකම් සහ එදිනෙදා කටයුතු කරගෙන යාමේදී අනතුරු සිදුවීමට ඇති අවදානම අඩුවේ.
  • ශරීරයේ අමතර මේදය තැන්පත් වීම අඩුවන බැවින්, තරබාරු වීමට හෝ බර වැඩිවීමට ඇති අවදානම අඩුවේ.
  • අනාගතයේදී, දියවැඩියාව, හෘදයාබාධ, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, සහ ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ.
  • මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු දරුවන්ට හොඳ නින්දක් ලබාගැනීමට හැකියාව වැඩිය. දරුවාගේ වර්ධනයට අවශ්‍ය මානව වර්ධක හෝමෝනය (Human growth hormone) ශ්‍රාවය වන්නේ නින්දේ පසුවන විට බැවින්, එවන් දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය හොඳින් සිදුවේ.
  • නිතර ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන දරුවෙකු අවදියෙන් සිටින විට, මානසිකව සක්‍රීය වන නිසා අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේ.
  • මානසික ආතතිය (Stress), විෂාදය (Depression), අනිසි බිය (Anxiety) ඇතුළු මානසික තත්ත්ව හටගැනීමට ඇති අවදානම ද අඩුවේ.
  • දරුවාගේ පෞරුෂත්වය වැඩිදියුණු වේ.
  • ගැහැණු දරුවෙකුට නම්, අනාගතයේදී ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට සහ මද සරුභාවය ඇතිවීමට ඇති අවදානම අඩුවේ.

ඔබේ දරුවා ශාරීරිකව ක්‍රියාශීලී වීමට නම්, රූපවාහිනිය, පරිගණකය, හෝ වීඩියෝ ක්‍රීඩා භාවිතා කරන කාලය සීමා කල යුතුවේ. ඔබේ දරුවාගේ වයස අවුරුදු දෙකට අඩුනම්, රූපවාහිනිය හෝ පරිගණකය නැරඹීමට ඉඩ නොදිය යුතුය. ඔබේ දරුවාගේ වයස අවුරුදු දෙකට වඩා වැඩිනම්, රූපවාහිනිය සහ පරිගණකය භාවිතා කරන කාල සීමාව දිනකට පැය 1-2 කට වඩා අඩුවිය යුතුවේ.

ඔබේ දරුවාට පහත ක්‍රියාකාරකම් හෝ එවැනි වෙනත් ක්‍රීඩා වලින්, සුදුසු ඒවා වල නිරතවීමට සහය වීම දෙමව්පියන් වන ඔබගේ යුතුකමක් වේ.

  • ඇවිදීම.
  • දිවීම.
  • පිහිනීම.
  • බයිසිකල් පැදීම.
  • බාස්කට් බෝල්.
  • පාපන්දු.
  • බැඩ්මින්ටන්.
  • ටෙනිස්.

ඔබේ දරුවාගේ වයසට ගැලපෙන ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමට දරුවාට සහය වන්න. දිනපතා ක්‍රීඩා හෝ ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට නිශ්චිත කාලසටහනක් සකස් කරගැනීම වඩාත් සුදුසු වේ. දරුවා එදිනෙදා කටයුතු කිරීමේදී ද, ශාරීරිකව සක්‍රීය වන අයුරින් කිරීමට උනන්දු කරවන්න. පවුලේ සැවොම එක්ව ක්‍රීඩා සහ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වන්නේ නම්, පවුලේ සාමාජිකයන් සැමට නිරෝගීව ජීවත්වීමට හැකියාව ලැබෙන බව සිතට ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Richard Masoner / Cyclelicious)

 

සබැඳි ලිපි:

දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!
ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*