පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ

පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ

ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ (Progestogen injections) යනු ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති වඩාත් ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයකි. එය වසරක කාලයක් භාවිතා කලහොත්, ගැබ් ගැනීමට ඇති හැකියාව 0.1-2% ක් පමණ වන අතර, එහි මූලිකම ක්‍රියාකාරීත්වය වන්නේ ඩිම්බ මෝචනය වැළැක්වීමයි. එයට අමතරව, ප්‍රොජෙස්ටොජන් මගින් ගැබ් ගෙලෙහි ශ්‍රාවයන් ඝනකම් කිරීම නිසා, ශුක්‍රාණු වලට යෝනි මාර්ගයේ සිට ගර්භාෂයට ගමන් කිරීමට නොහැකි වේ. එමෙන්ම, ප්‍රොජෙස්ටොජන් වල ක්‍රියාකාරීත්වය හේතුවෙන්, ගර්භාෂයේ ඇතුලත ආස්තරය තුනී වන අතර, එමගින් සංසේචනය වූ ඩිම්බය අධිරෝපණය වීම ද වැළැක්වේ.

ප්‍රධාන වශයෙන්, ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ වර්ග 2 ක් පවතී. ඒවා නම්,

  • ඩිපෝ මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් (Depot medroxyprogesterone acetate or DMPA)
  • නෝඑතිස්ටරෝන් එනැන්තේට් (Norethisterone enanthate)

 

ඩිපෝ මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටරෝන් ඇසිටේට්

මෙම නික්ෂේපණය ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන අතර, සමාජයේ “ඩිපෝ ඉන්ජෙක්ෂන්” යන නාමයෙන් ජනප්‍රිය වී ඇත. මෙය, ඩිපෝ මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් මිලිග්‍රෑම් 150 ක් ලෙස තට්ටමේ, කලවයේ, හෝ බාහුවේ මාංශ පේෂියකට නික්ෂේපණයක් ලෙස ලබාදේ. එවිට, ප්‍රොජෙස්ටරෝන් (Progesterone) හෝමෝනය යම් නියත මාත්‍රාවකින් මාංශ පේශියේ සිට රුධිරයට ක්‍රමයෙන් නිදහස් වන අතර, එහි ක්‍රියාකාරීත්වය සති 12-13 ක් පමණ පවතී. මෙම නික්ෂේපණය, ඔසප්වීම ආරම්භ වී මුල් දින 5 තුළ හෝ දරු උපතේ සිට දින 5 ක් ගතවීමට පෙර ආරම්භ කල යුතුවේ. යම් මවක් ළදරුවාට මව්කිරි දෙන්නේ නම්, DMPA නික්ෂේපණය ලබාදීම දරු උපතෙන් පසුව සති 6 ක් දක්වා ප්‍රමාද කල හැක. දිගුකාලීනව පවුල් සැලසුම් කිරීම සඳහා, DMPA නික්ෂේපණය, සෑම සති 12 කට වරක්ම ලබාගත යුතුවේ. DMPA නික්ෂේපණය ලබාගැනීම නියමිත දිනයට වඩා දින 5 කට වැඩියෙන් ප්‍රමාද වුවහොත්, ඊළඟ නික්ෂේපණය ලබාගැනීමට පෙර ගැබ් ගැනීමක් සිදුවී නැතැයි තහවුරු කරගත යුතු අතර, DMPA නික්ෂේපණය ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට දින 14 ක් ගතවන තුරු කොන්ඩම් වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කල යුතුය. කෙසේ වුවත්, DMPA නික්ෂේපණය ලබාගැනීම ප්‍රමාද වී ඇත්තේ නියමිත දිනයට වඩා දින 5 කට අඩුවෙන් නම්, විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම අවශ්‍ය නොවන අතර, සාමාන්‍ය පරිදි දිගටම නික්ෂේපණය භාවිතා කල හැක.

 

DMPA නික්ෂේපණයෙහි ඇති වාසි මොනවාද?

  • ඉතා ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වීම.
  • නික්ෂේපණය ලබාගත යුත්තේ සති 12 කට වරක් වීම.
  • අනෙක් ඖෂධ සමග භාවිතා කිරීමෙන් ඇතිවන අන්තර් ක්‍රියා අවම වීම.
  • ගර්භාෂයේ ආස්තරයෙහි ඇතිවන පිළිකා (Endometrial cancers) වලට ඇති අවදානම 80% කින් පමණ අඩුවීම.
  • ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම් (Ectopic pregnancy), රක්තහීනතාවය, ගර්භාෂයේ ඇතිවන තන්ත්වාභ (Fibroid) නැමැති ගෙඩි වර්ගය, ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID), සහ ඩිම්බ කෝෂ වල කෝෂ්ඨ (Functional ovarian cysts) ඇතිවීමට ඇති අවදානම අඩුවීම.
  • ඊස්ට්‍රජන් (Oestrogen) හෝමෝනය නොමැතිවීම නිසා ආඝාතය, හෘද රෝග, ශිරා වල ලේ කැටි ඇතිවීම (Deep-vein thrombosis or DVT), හෝ පුප්ඵුශීය (පෙනහළු තුළ) රුධිර සංසරණය තුළ ලේ කැටි ඇතිවීම (Pulmonary embolism or PE) ආදිය සඳහා ඇති අවදානම ඉහළ නොයෑම.
  • ඔසප්වීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ (Premenstrual syndrome) සමනය වීම.
  • ඔසප්වීමේදී ඇතිවන අධික රුධිර වහනය හෝ වේදනාව සමනය කිරීමට යොදාගත හැකිවීම.
  • දිනපතාම පවුල් සැලසුම් පෙත්තක් ගැනීමට අමතක වන කාන්තාවකට වඩාත් සුදුසු වීම.

 

DMPA නික්ෂේපණ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

  • නික්ෂේපණය ලබාදුන් ප්‍රදේශයේ ප්‍රදාහයක් හෝ ප්‍රතික්‍රියාවක් හටගැනීම.
  • ඔසප්වීම නතරවීම.
  • පළමු වසර තුළ ශරීරයේ බර වැඩිවීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • නික්ෂේපණය නැවැත්වූ පසු යලි සාඵල්‍යතාවයට පත්වීමට ප්‍රමාදවීම (සාමාන්‍යයෙන් මාස 6 ක් පමණ ගතවන අතර, ඇතැම්විට මාස 9-10 ක් පමණ ගතවිය හැක.).
  • දිගුකාලීනව ලබාගැනීම නිසා, ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීමෙන්, ඔස්ටියොපොරෝසිස් (Osteoporosis) තත්ත්වය ඇතිවීමට මදක් ඉඩ වැඩිවීම.

 

DMPA නික්ෂේපණය ලබාගත නොහැක්කේ කාටද?

යම් කාන්තාවකට පහත තත්ත්වයන් හෝ රෝග එකක් වත් ඇත්නම්, ඇයට DMPA නික්ෂේපණය ලබාගත නොහැක.

  • පුප්ඵුශීය රුධිර සංසරණයේ ලේ කැටි ඇතිවීම (Pulmonary embolism or PE).
  • ශිරා වල ලේ කැටි ඇතිවීම (Deep-vein thrombosis or DVT).
  • හෘදයාබාධ ඇතිවීමට අවදානම් සාධක කිහිපයක් පැවතීම.
  • DMPA නික්ෂේපණය භාවිතා කරන අතරතුර ඉරුවාරදය (Migraine) පැවතීම.
  • යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනයක් සිදුවීම (තවමත් රෝග නිශ්චය නොකල).
  • අක්මාවේ රෝගයක්.
  • පියයුරු පිළිකා.
  • ගර්භණීභාවය.
  • හෘද රෝග.
  • හෘදයාබාධ සඳහා රෝග ඉතිහාසයක් පැවතීම.
  • ආඝාතය හෙවත් අංශභාගය සඳහා රෝග ඉතිහාසයක් පැවතීම.
  • වසර 20 කට වඩා දියවැඩියාව පැවතීම.
  • සංකූලතා සහිත දියවැඩියා රෝගය.
  • හෘද රෝග සමග අධික රුධිර පීඩනය පැවතීම.

 

නෝඑතිස්ටරෝන් එනැන්තේට්

මෙම නික්ෂේපණය එතරම් ජනප්‍රිය නොවන සහ බහුලව භාවිතා නොකරන එකකි. මෙහිදී, නෝඑතිස්ටරෝන් එනැන්තේට් මිලිග්‍රෑම් 200 ක්, තට්ටම ප්‍රදේශයේ මාංශ පේශියකට එන්නත් කරනු ලැබේ. ඔසප්වීම ආරම්භ වී දින 5 ක් තුළ හෝ දරු උපතකින් වහාම පසුව මෙම නික්ෂේපණය ලබාදිය යුතුය. මාංශ පේශිය තුළ ඇති නෝඑතිස්ටරෝන් හෝමෝනය සති 8 ක් තිස්සේ නියත මාත්‍රාවකින් රුධිරයට නිදහස් වන අතර, මෙම නික්ෂේපණය සෑම සති 8 කට වරක්ම නැවත ලබාගත යුතුවේ. අලුත උපන් ළදරුවාට දැඩි හෝ දිගටම පවතින කාමලාව (Jaundice) හෙවත් සම සහ ඇස් කහපාට වීම ඇත්නම්, සහ මව නෝඑතිස්ටරෝන් එනැන්තේට් නික්ෂේපණය දැනටමත් ලබාගෙන ඇත්නම්, ළදරුවා සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු මව්කිරි දීම නැවැත්විය යුතුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Global Panorama)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*