අස්ථිපර්වදාහය හෙවත් ඔස්ටියොආත්‍රයිටිස් (Osteoarthritis) ඇතිවීම දණහිසේ වේදනාව ඇතිවීමට එක් ප්‍රධාන හේතුවකි. මෙම තත්ත්වය ඇතිවන්නේ සන්ධියක කාටිලේජ සහ අස්ථි වලට හානි සිදුවීමෙනි. ඔස්ටියොආත්‍රයිටිස් ඇතිවූ විට දණහිස්වල වේදනාව ඇතිවීම නිසා බොහෝ අය චලනය වීමට මැලිකමක් දක්වති. නමුත්, නිතිපතා ව්‍යායාම කිරීම මගින්, දණහිස්වල වේදනාව සමනය කරගැනීමට හැකියාව ඇත.
කෙසේ වුවත්, ඔස්ටියොආත්‍රයිටිස් ඇති කෙනෙක් ව්‍යායාම කිරීම ආරම්භ කරන විට දණහිස්වල සැලකිය යුතු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එයට හේතුව, දණහිස්වල ඇතිවන ප්‍රදාහයයි. මෙම තත්ත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක් ව්‍යායාම වලින් ඈත්වී කාලය ගෙවන්නේ එහෙයිනි. මෙසේ සන්ධි වල වේදනාවක් ඇතිවීමෙන්, ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඔබ ඈත්විය යුතු බව අදහස් නොවේ. දණහිස්වල ඔස්ටියොආත්‍රයිටිස් තත්ත්වය ඇත්නම්, කලහැකි හොඳම සහ පහසුම ශාරීරික ක්‍රියාකාරකම, ඇවිදීමයි. ඇවිදීම ආරම්භ කලපසු ක්‍රමයෙන් දණහිස්වල වේදනාව අඩුවිය යුතුය.
ඇවිදීම නිසා දණහිස්වල වේදනාව අඩුවන්නේ කෙසේද?
මේ සඳහා හේතු කිහිපයක් ඇත.
- හානිවූ අස්ථි සහ කාටිලේජ නැවත වර්ධනය වීම.
කාටිලේජ යනු සන්ධියක අස්ථි වටා ඇති කුෂන් එකක් වැනි පටකයකි. එය සන්ධිය මත ඇතිවන කම්පන සහ පීඩනය අවශෝෂණය කිරීමට උපකාරී වේ. ඔස්ටියොආත්‍රයිටිස් නිසා කාටිලේජ වලට හානි සිදුවන බැවින්, දණහිස්වල වේදනාව, තද ස්වභාවය, සහ චලනය කිරීමට අපහසුවීම ඇතිවේ. ඇවිදින විට ස්පොන්ජ් එකක් මෙන්, කාටිලේජ වරින්වර තෙරපීම සහ ලිහිල්වීම සිදුවන බැවින්, කාටිලේජ වලට රුධිර සංසරණය ඔස්සේ වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ලැබීම සිදුවේ. එමනිසා, හානි වූ දණහිසේ කාටිලේජ නැවත වර්ධනය වීම සිදුවේ.
- පාද ශක්තිමත් වීම.
ඇවිදීම, පාදවල මාංශ පේශි වර්ධනය කර ශක්තිමත් කිරීම සිදුකරයි. එමගින්, චලනය වීමේදී, දණහිස් මත ඇතිවන කම්පන සහ පීඩනය සැලකිය යුතු ලෙස අඩුවේ. එමෙන්ම, ශක්තිමත් මාංශ පේශි මගින්, ඔබේ ශරීරයේ බර දරාගන්නා බැවින්, දණහිසට ඇතිවන පීඩනය අඩුකරයි. ඇවිදීම මගින්, පාද ශක්තිමත් වීම නිසා දණහිස්වල වේදනාව අඩුවන්නේ එහෙයිනි.
- බර අඩුවීම.
ඔබේ ශරීරයේ බරෙහි අඩුවන සෑම කිලෝග්‍රෑමයකටම, දණහිස් මත ඇතිවන පීඩනය සහ ආතතිය, නව ගුණයකින් අඩුවන බව සොයාගෙන ඇත. එමගින්, දණහිස්වල වේදනාව අඩුවේ. ඇවිදීම යනු ශරීරයේ බර අඩුකරගැනීමට ඇති හොඳම සහ පහසුම ක්‍රියාකාරකමක් බැවින්, වේදනාකාරී දණහිස්වලට හොඳ ප්‍රතිකර්මයක් ලෙස හැඳින්විය හැක.
ඔබේ ශරීරයට සවන් දෙන්න.
සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම සඳහා, දිනකට විනාඩි 30 ක් බැගින්, සතියකට අවම වශයෙන් දින 5 ක් වත් ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලිය යුතුවේ. නමුත්, එකවරම මෙම මට්ටමට යායුතු නැත. දිනකට, විනාඩි 10 ක් පමණ ඇවිදීමෙන් ආරම්භ කිරීම, හොඳ අදහසකි. පසුව ක්‍රමයෙන්, ඔබේ ඉලක්කය කරා කාලය වැඩි කරගන්න. එකවරම, දිනකට විනාඩි 30 ක කාලයකින් ආරම්භ කලහොත්, පසුදින ඔස්ටියොආත්‍රයිටිස් ඇති දණහිස්වල වේදනාව තවත් වැඩිවිය හැක.
ඔබ ව්‍යායාම කිරීම නැවැත්විය යුතු බව හඟවන සංඥා හඳුනාගැනීමද වැදගත් වේ. එවැනි සංඥා කිහිපයක් පහතින් දක්වා ඇත.
- එකවරම, දණහිසෙහි ඉදිමීමක් ඇතිවීම හෝ පවත්නා ඉදිමීම වැඩිවීම.
- එක් පාදයක් මත සිටගැනීමට අපහසුවන තරමට, දැඩි වේදනාවක් දණහිසෙහි ඇතිවීම.
- ශරීරයේ සමබරතාවය ගිලිහී ඇතැයි දැනීම.
- වේදනාවක ප්‍රමාණය 1 සිට 10 දක්වා පරිමාණයට දැක්වූ විට, දණහිසේ වේදනාව 4 හෝ 5 ට වඩා වැඩිවීම.
අමතක නොකල යුතු කරුණු
ඇවිදීමට උචිත සපත්තු යුගලයක් භාවිතා කරන්න. එමෙන්ම, ඇවිදීමෙන් පසුව, දණහිස්වල වේදනාව හෝ ඉදිමීම ඇත්නම්, බිම වැතිරී, පාද මදක් ඔසවා තබා, දණහිස් වලට අයිස් තබන්න. ඇවිදීම වේදනාකාරී නම්, ඔබේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම කල යුතුවේ. ඇතැම් විට, ඔබේ දණහිසේ අස්ථි එක එල්ලයට පිහිටා නැතිවීමට ඉඩ ඇත. ඒ සඳහා, වෛද්‍ය උපදෙස් මත, පාදවලට උපකාරක උපාංග (Assistive devices) පැළඳිය හැක. එවිට, අපහසුතා ඇතිවීම අවම කරගත හැක.
ඔබේ ශරීරය පිළිබඳ විශ්වාසය තබන්න. චලනය යනු, ඔස්ටියොආත්‍රයිටිස් තත්ත්වය සුවකරන එක්තරා ප්‍රතිකර්මයකි. මුලින්ම, මදක් වේදනාකාරී වුවද, පසුව විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව සිතට ගන්න. ඇවිදීම, ඔබේ දණහිස්වලට පමණක් නොව, සමස්ථ ශරීරයටම ප්රතිලාභ ගෙනදේ.
(ඡායාරූප අනුග්‍රහය: Seika)
සබැඳි ලිපි:
දණහිසේ ආත්රයිටිස් වලට ව්‍යායාම මගින් ප්‍රතිකාර
© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දණහිසේ වේදනාව අඩුකරගැනීමට ඇවිදින්න." පිළිබඳ ඔබේ අදහස්