ශ්‍රී ලාංකීය සමාජය තුළ සකස් කරන ලද ආහාර භාවිතයේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. සකස් කරන ලද ආහාර මිළ අධික වුවත්, සමාජ ආර්ථික පසුබිමේ සීඝ්‍ර වෙනස්වීම, කාන්තා රැකියා නියුක්තිය ඉහළ යාම, සහ ආදායම ඉහළ යාම වැනි සාධක හේතුවෙන් නාගරික සහ අර්ධ නාගරික සමාජය මෙවැනි ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.
පිරිසැකසුම් ආහාර යනු මොනවාද?
භාවිතයට පහසුවන අයුරින් හෝ කල්තබාගැනීමට හැකි අයුරින් සකස් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ. බොහොමයක් පිරිසැකසුම් ආහාර භාවිතා කිරීමට පෙර රත්කිරීම හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය එකතුකර සකස් කරගැනීම කල යුතුවේ. පරිභෝජනයට පහසුවීම වැනි වාසි තිබෙන මුත්, බොහොමයක් පිරිසැකසුම් ආහාර පෝෂණ ගුණයෙන් හීනය. එමෙන්ම, එවැනි ආහාර කල්තබාගැනීම සහ රසවත්භාවය වැඩිකිරීම සඳහා නොයෙකුත් ආහාර සංකලනයන් (Food additives) එකතු කරනු ලැබේ. මෙම ආහාර සංකලනයන් වල පෝෂණ ගුණයක් නොමැති තරම්ය. ආහාර කල්තබාගැනීමට යොදන රසායන ද්‍රව්‍යයන් වලට සැලකිය යුතු සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමේ හැකියාව ඇත. කෙසේ වුවත්, සියළු පිරිසැකසුම් ආහාර ශරීරයට අහිතකර නොවේ. අධිශීත කරන ලද එළවළු හා පළතුරු, තම්බන ලද සහල්, පාශ්චරීකරනය කරන ලද කිරි, හා බලකරණය කරන ලද ආහාර (Fortified foods) ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. එවැනි ආහාර මගින් අහිතකර බලපෑම් වලට වඩා හිතකර බලපෑම් ඇතිවේ.
පිරිසැකසුම් ආහාර වල පෝෂණ ගුණය සහ ඔබේ සෞඛ්‍යයට ඒවායින් ඇතිවන බලපෑම් මොනවාද?
සාමාන්‍යයෙන් පිරිසැකසුම් ආහාර සකස්කිරීමේ ක්‍රියාවලියේදී ශුද්ධකරන ලද අමුද්‍රව්‍ය (Refined ingredients) යොදාගන්නා අතර, එම ආහාර වල එකතුකරන ලද මේදය, ලුණු, සහ සීනි ඇත. එමෙන්ම, පිරිසැකසුම් ආහාර වල කැලරි අගය වැඩිය. නමුත්, ඒවා තුළ අඩංගු වන ක්ෂුද්‍ර පෝෂක සහ ආහාරමය තන්තු ප්‍රමාණය ඉතා අඩුය. එබැවින්, ඔබේ ආහාර වේලෙහි ප්‍රධාන තැනක් පිරිසැකසුම් ආහාර වලට වෙන්කිරීම නොකල යුතුය.
බොහොමයක් පිරිසැකසුම් ආහාර වල තෙල් මුඩුවීම සහ ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන ආහාර නරක්වීම වැළැක්වීම සඳහා කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍ය යොදා ඇත. මෙම කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍යයන් ශරීරයට විෂ සහිත වන අතර, ඒවා නිසා ආසාත්මිකතා (Allergies) ද ඇතිවිය හැක. පිරිසැකසුම් ආහාර රසවත් කිරීම සඳහා මොනෝ සෝඩියම් ග්ලූටමේට් (Mono-sodium glutamate or MSG) යොදන අතර, ආහාර වල වයනය (Texture) වැඩිදියුණු කිරීම සඳහා විශේෂණය කරන ලද පිටි වර්ග (Modified starches) යොදාගනී. මෙවැනි ද්‍රව්‍යයන් නිසා විෂවීම් සහ ආසාත්මිකතා ඇතිවිය හැක. එමෙන්ම, බොහොමයක් පිරිසැකසුම් ආහාර වල විශාල වශයෙන් ට්‍රාන්ස් මේදය, සංතෘප්ත මේදය, සීනි, සහ ලුණු අඩංගු වේ. මෙවැනි ආහාර වලින් හැකිතරම් වැළකීම ඇඟට ගුණදායක වන අතර, කලාතුරකින් ඉතා සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීම කලහැක.
නිශ්ඵල ආහාර (Junk foods) යනු මොනවාද?
නිශ්ඵල ආහාර යනු ඉතාම අඩු පෝෂණ ගුණයක් ඇති ආහාර වේ. පෝෂ්‍ය පදාර්ථ අඩු සහ සීනි හා මේදය අධිකව අඩංගුවීම නිසා කැලරි අගය වැඩි ආහාර මෙයට අයත් වේ. ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා වන නිශ්ඵල ආහාර අතර බැදපු අලපෙති, ටොෆී, සීනි සහිත අතුරුපස, අල පිටි වලින් සාදන ලද විවිධ නිෂ්පාදන, කාබනීකෘත බීම, සහ පැණිබීම අන්තර්ගත වේ. මෙවැනි ආහාර “හිස් ආහාර” ලෙස හඳුන්වන්නේ කැලරි අධිකවීම, ක්ෂුද්‍ර පෝෂක අඩුවීම, සහ ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ ඌණවීම නිසාය. නිශ්ඵල ආහාර ජනප්‍රිය වීමට ඒවායේ ඇති රසවත්භාවය හේතුවේ. නමුත් එසේ වන්නේ ඒවාට අමතරව එකතුකරන ලද මේදය, සීනි, සහ ලුණු නිසා බව අමතක නොකල යුතුය. එබැවින්, එවැනි ආහාර පරිභෝජනයෙන් වැළකිය යුතුවේ. නිශ්ඵල ආහාර නිතිපතා පරිභෝජනය කිරීම දියවැඩියාව, තරබාරුකම, හෘද රෝග, අංශභාගය, සහ දත් දිරායාම වැළඳීමට ඇති ප්‍රවණතාවය ඉහළ යාමට හේතුවක්ව පවතී.
බොහොමයක් පිරිසැකසුම් ආහාර වල ලේබලයේ එහි අඩංගු අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් වැඩි අගයේ සිට අඩු අගය දක්වා පෙළගස්වා සටහන්කර ඇත. සැමවිටම ආහාර මිළදී ගැනීමට පෙර එහි අඩංගු වන ද්‍රව්‍යයන් පිළිබඳව ලේබලය කියවා පරීක්ෂා කිරීමට පුරුදුවන්න. අමුද්‍රව්‍ය අතර මේදය, සීනි, සහ ලුණු ඉහළ ප්‍රතිශත වලින් අඩංගුව ඇත්නම්, එවැනි ආහාර මිළදී ගැනීමෙන් වැළකිය යුතුවේ. යම් ආහාරයක් සම්පූර්ණ ආහාර වේලක් ලෙස ගන්නා විටදී හැර, එක් ආහාර ප්‍රමාණයක (Serving) අඩංගු ශක්තිය කිලෝ කැලරි 300 කට වඩා වැඩිනම්, එම ආහාරය පරිභෝජනය නොකල යුතුවේ.
මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය
(ඡායාරූප අනුග්‍රහය: reynermedia)
සබැඳි ලිපි:
ආහාර වල ශක්ති ඝනත්වය ගැන දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
වැඩිපුර ලුණු භාවිතය අගුණ ඇයි?
නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද?
පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි
සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?
© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?" පිළිබඳ ඔබේ අදහස්