දරුවාගේ මළ බද්ධය සුව කරගන්නේ කෙසේද?

දරුවාගේ මළ බද්ධය සුව කරගන්නේ කෙසේද?

මළ බද්ධය (Constipation) යනු කුඩා දරුවන් අතර බහුලව ඇතිවන තත්ත්වයකි. ඔබේ දරුවා සතියකට අවම වශයෙන් 3 වරක් වත් මළපහ කරන්නේ නැති නම්; දරුවාට මළපහ කිරීමේ අපහසුතාවයක් ඇත්නම්; හෝ දරුවාගේ මළපහ තද, වියලි, සහ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල නම්, එය මළ බද්ධය ලෙස හැඳින්විය හැක. බොහෝවිට, කුඩා දරුවන්ගේ ඇතිවන මළ බද්ධය සැලකිය යුතු වෛද්‍ය ගැටළුවක් නොවේ. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ශාරීරික ක්‍රියාකාරකම් මගින් එය පහසුවෙන් සමනය කරගැනීමේ හැකියාව පවතී.

 

මළ බද්ධය ඇතිවීමට හේතු මොනවාද?

මළ බද්ධය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ දරුවාගේ ආහාරයේ ප්‍රමාණවත් තරම් තන්තු (Fibre) සහ ජලය නොමැති වීමයි. මක්නිසාද, තන්තු සහ ජලය මළපහ කිරීම පහසු කිරීමට ඉවහල් වේ. සකස් කරන ලද ආහාර (Processed foods), ක්ෂණික ආහාර (Instant foods), චීස්, පාන්, පිටි වලින් සාදන වෙනත් ආහාර, සහ මස් ආදිය පමණ ඉක්මවා වැඩිපුර ආහාරයට ගන්නා දරුවන්ට නිතර මළ බද්ධය ඇතිවීම දක්නට ලැබේ. එළවළු, පළතුරු, සහ කුරුට්ට සහිත ධාන්‍ය වැනි තන්තු බහුල ආහාර ගන්නා දරුවන්ගේ මළපහ තද හෝ වියලි ස්වභාවයකට පත් නොවේ.

ඇතැම් විට, යකඩ ඌණතාවයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ සහ විෂාදයට (Depression) ලබාදෙන ඖෂධ, මළ බද්ධය ඇතිකිරීමට හේතුවිය හැක. මව්කිරි පමණක් ලබාදුන් ළදරුවා අමතර ආහාර වලට හුරු කිරීමට යාමේදී ද මළ බද්ධය ඇතිවන අවස්ථා දක්නට ලැබේ. කුඩා දරුවන් වැසිකිලි භාවිතයට පුහුණු කරන කාලයේදී ද, මළ බද්ධය ඇතිවිය හැක. විශේෂයෙන්ම, නිසි වයසට එළඹීමට පෙර දරුවාට වැසිකිලි භාවිතය පුහුණු කිරීමට යාමේදී, මළ බද්ධය ඇතිවීම සිදුවේ.

ඇතැම් දරුවන් මළපහ කිරීමට අවශ්‍යතාවය තිබියදීත්, වැසිකිලි යාම ප්‍රමාද කිරීම දක්නට ලැබේ. සමහර විට, දරුවා පාසලේදී හෝ නිවසෙන් බාහිරව සිටින විට හෝ මළපහ කිරීමට අදිමදි කිරීමට පුළුවන. ඇතැම් දරුවන් සෙල්ලම් කරන විට, එය නවතා වැසිකිලි යාමට අකමැත්තක් දක්වති. මෙසේ අවශ්‍යතාවය ඇතිවිට වැසිකිලි නොයා ප්‍රමාද කිරීම ද, මළපහ ඝන ස්වභාවයකට පත්වීමට හේතුවක් වේ.

දරුවා මානසික ආතතියකින් පසුවීමද, මළ බද්ධය ඇතිවීමට හේතුවක් විය හැක. දරුවා අලුත් පාසලකට හෝ අලුත් පන්තියකට මාරු වනවිට මෙසේ සිදුවිය හැක. නැතහොත්, පාසලේ හෝ නිවසේ ගැටළුවක් ඇතිවිටද, කුඩා දරුවාට මළ බද්ධය ඇතිවීමට ඉඩ ඇත. දරුවාගේ මනසට බලපාන ගැටළු, ඔහුගේ හෝ ඇයගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ද බලපාන බව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එය, මළ බද්ධය මෙන්ම, දියර ලෙස මළපහ පිටවීමට ද (Diarrhoea) හේතුවක් විය හැක.

ඇතැම් දරුවන්ට, උද්දීපන බඩවැල් සහලක්ෂණය (Irritable bowel syndrome or IBS) නම් වූ තත්ත්වය නිසාද මළ බද්ධය ඇතිවිය හැක. දරුවාට මානසික ආතතියක් ඇතිවූ විට, සහ තෙල් හා කුළුබඩු අධිකව යෙදූ ආහාර නිතර ආහාරයට ගන්නා විට මෙම තත්ත්වය ඇතිවීමට ඉඩ ඇත. උද්දීපන බඩවැල් සහලක්ෂණය ඇති දරුවාට මළ බද්ධය හෝ දියර ලෙස මළපහ පිටවීම, බඩේ වේදනාව, බඩ පුරවා දැමීම, සහ නිතර අධෝ වාතය පිටවීම සිදුවිය හැක.

කලාතුරකින්, දරුවාට ඇති වෙනත් කායික රෝගයක ප්‍රතිඵලයක් ලෙස මළ බද්ධය ඇතිවිය හැක. ඔබේ දරුවාට නිතර මළ බද්ධය ඇතිවේ නම් හෝ මළ බද්ධය සති 2-3 කට වඩා පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීම කල යුතුවේ.

 

මළ බද්ධයෙහි රෝග ලක්ෂණ මොනවාද?

එක් එක් දරුවාට ආවේණික වැසිකිලි යාමේ රටාවක් ඇතිබව සිතට ගන්න. ඔබේ දරුවා දිනපතා වැසිකිලි නොයන්නේ මළ බද්ධය නිසාම යැයි සිතන්නට එපා. ඇතැම් දරුවන් දිනකට 3 වරක් වැසිකිලි යනවිට, තවත් දරුවෙකු දවස් 3 කට වරක් වැසිකිලි යෑමට පුරුදුව සිටීමට පුලුවන.

සාමාන්‍යයෙන්, කුඩා දරුවන්ට මළ බද්ධය ඇතිවිට පහත ලක්ෂණ ඇතිවිය හැක.

  • වෙනදාට වඩා අඩු වාර ගණනක් වැසිකිලි යාම.
  • වැසිකිලි යාමට අපහසු වීම හෝ වැසිකිලි යනවිට වේදනාවක් ඇතිවීම.
  • බඩ පුරවා දැමීම, උගුරට වාතය පැමිණීම, හෝ නිතර අධෝ වාතය පිටවීම.
  • මළපහ කිරීම සඳහා තැටමීමට සිදුවීම.
  • මළපහ සමග ලේ ස්වල්පයක් පිටවීම.

කුඩා දරුවන්ට මළ බද්ධය ඇතිවිට, ඔවුන්ගේ යට ඇඳුම් වල මළපහ ස්වල්පයක් තැවරී තිබීමද ඇතැම්විට දක්නට ලැබේ.

 

මළ බද්ධය ඇතිවීම වළක්වා ගන්නේ සහ එය සුවකර ගන්නේ කෙසේද?

  • ඔබේ දරුවාට වැඩිපුර දියර වර්ග පානය කිරීමට දෙන්න.

වැඩිපුර දියර වර්ග සහ ජලය පානය කිරීමෙන්, මළපහ මෘදු වන අතර, බඩවැල් ඔස්සේ දිරවන ලද ආහාර පහසුවෙන් චලනය වේ. ඔබේ දරුවාගේ වයස සහ බර අනුව, දිනකට අවශ්‍ය ජලය සහ දියර ප්‍රමාණය වෙනස්විය හැක. බොහෝ පාසල් යන දරුවන් සඳහා දිනකට වතුර වීදුරු 3-4 ක් පමණ අවශ්‍ය වේ. ඔබේ ළදරුවා මව්කිරි වල සිට අමතර ආහාර වලට පුරුදු කිරීමේදී, පිළියෙල කරන ආහාර වල අඩංගු ජලය ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබේ දරුවාට නිතර මළ බද්ධය ඇතිවේ නම්, ඔබේ වෛද්‍යවරයා මුණගැසීමට අමතක නොකරන්න.

  • තන්තු බහුල ආහාර වැඩිපුර දෙන්න.

තන්තු බහුල එළවළු, පළතුරු, කුරුට්ට සහිත ධාන්‍ය, කුරුට්ට සහිත ධාන්‍ය වලින් සාදන ආහාර මළ බද්ධය වැළැක්වීමට සමත් වේ. ආහාරයේ ඇති තන්තු දිරවීමට අපහසුය. එමනිසා, ඒවා මළපහ සමග පිටවීමෙන්, දිරවූ ආහාර පහසුවෙන් බඩවැල් ඔස්සේ චලනය වීම සිදුවේ. නමුත්, සීනි, තෙල්, සහ පිටි අධික ආහාර මගින්, දිරවූ ආහාර බඩවැල් ඔස්සේ චලනය වීම ප්‍රමාද කරයි. ඔබේ දරුවාට මළ බද්ධය ඇත්නම්, සති කිහිපයක් ඔස්සේ ක්‍රමාණුකූලව තන්තු බහුල ආහාර ප්‍රමාණය සහ පානය කරන දියර ප්‍රමාණය වැඩිකරන්න.

  • දරුවා ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමුකරන්න.

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරතවන දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වේ. එමනිසා, ඔබේ දරුවා ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, හෝ වෙනත් ක්‍රීඩාවක් කිරීම සඳහා යොමුකිරීම වැදගත් වේ.

  • ආහාර ගැනීමට කාලසටහනක් සකස් කරන්න.

දිනපතාම නියමිත වේලාවකට ආහාර ගැනීමට පෙළඹීමෙන්, ආහාර ජීර්ණ පද්ධතිය නිශ්චිත රටාවකට සක්‍රීය වීමට සහ ක්‍රියාත්මක වීමට හුරුවේ. එවිට, වැසිකිලි යාමටද නිශ්චිත රටාවක් ඇතිවීම සිදුවේ. එය මළ බද්ධයෙන් වැළකීමට ඉතා වැදගත්ය. හැකිනම්, ඔබේ දරුවාට මදක් කලින් උදෑසන ආහාරය ගැනීමට හුරුකරන්න. එවිට, දරුවාට පාසල් යෑමට පෙර, නිදහසේ වැසිකිලි යාමට අවකාශය ලැබේ.

  • වැසිකිලි භාවිතයට රටාවක් හුරුකරන්න.

සෑම දිනකම නිශ්චිත වේලාවකට වැසිකිලි යාමට දරුවා හුරුකල යුතුවේ. හැකිනම්, වැසිකිලි යාමට පෙර ආහාර ගැනීමට දරුවාට පුරුදු කරන්න.

ආහාර ගැනීමේ රටාවේ සහ ජීවන රටාවේ මෙවැනි වෙනස්කම් සිදුකිරීමෙන්, මළ බද්ධය සුවකර ගැනීමට සහ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් තොරව, ඔබේ දරුවාගේ මළ බද්ධය සඳහා ඖෂධ ලබාදීම එතරම් නුවණට හුරු දෙයක් නොවන බව සිතට ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Leonid Mamchenkov)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ මළ බද්ධය සුව කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*