ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි. ශ්‍රී ලංකාව තුළ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරුවන් විශේෂ දෙක මගින් ඩෙංගු රෝගය පැතිරේ. ඩෙංගු රෝගී පුද්ගලයෙකුට දෂ්ට කල මදුරුවෙකු විසින් නිරෝගී පුද්ගලයෙක් දෂ්ට කරනු ලැබුවහොත්, එම නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය වැළඳීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික වියහැකි බැවින්, එය වැළැක්වීමට දායක වීම ශ්‍රී ලංකා වාසී අප සැමගේ යුතුකමක් මෙන්ම, වගකීමක් වේ. අපි සැවොම ඒ සඳහා පෙළගැසිය යුතුය.

2016 වසරේ මේ දක්වා (2016 ජූලි මස 05 වනදා තෙක්) ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 21,881 ක් වාර්තා වී ඇත. එයින් 47% ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

 

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය පිළිවෙලින් බිත්තර, කීටයා, පිලවා, සහ මදුරුවා ලෙස අවධි හතරකින් සමන්විත වේ. ගැහැණු මදුරුවා ජලය එකතු වන ස්ථාන සහ භාජන වල බිත්තර දමයි. මේ සඳහා කුඩා ජල ප්‍රමාණයක් වුවද ප්‍රමාණවත් වීම විශේෂයකි. මෙම බිත්තර වලින් වැඩිහිටි මදුරුවෙකු හටගැනීමට දින 7-9 ක් පමණ ගතවේ. බිත්තර දැමූ පසු, ඒවා ජලය සිඳී වියළී ගියද, මාස ගණනක් පරිසරයේ සජීවීව පවතී. මාස ගණනකට පසුව වුවද, නැවත ජලය ලැබුනහොත්, බිත්තර මදුරුවන් බවට වර්ධනය වේ. එමෙන්ම, ගැහැණු මදුරුවාගේ ශරීරයේ පවතින ඩෙංගු වෛරසය, බිත්තර ඔස්සේ ඊළඟ පරම්පරාවට ද සම්ප්‍රේෂණය වීම සිදුවේ.

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රයේ එක් අවධියක් හෝ විනාශ කිරීමෙන්, මදුරුවා බෝවීම වළක්වාගත හැක. මෙම මදුරුවාගේ බිත්තර, කීටයා, සහ පිලවා යන අවධි තුනම ජලයේ ගතකරන බැවින්, එම අවස්ථාවන් විනාශ කිරීම වඩාත් පහසුය. මක්නිසාද, වැඩුණු මදුරුවෙකු ලෙස පරිසරයට පියඹා ගිය පසු, ඩෙංගු මදුරුවන් විනාශ කිරීම ඉතා අපහසු වේ. වැඩුණු ඩෙංගු මදුරුවාට පරිසරයේ තත්ත්වය මත, සති දෙකක කාලයක සිට මාසයක් දක්වා ජීවත්විය හැක. එමෙන්ම, මීටර් 200 ක් දක්වා ඉහළට පියාසර කලහැක. එබැවින්, උස ගොඩනැගිලි තුළ පවා බිත්තර දැමීමට වැඩුණු ගැහැණු මදුරුවාට හැකියාව ඇත. එපමණක් නොව, වැඩුණු මදුරුවෙකුට තම ජීවිත කාලය තුළ මීටර් 500 ක් දක්වා දුරකට පියාසර කිරීමටද හැකියාව පවතී. එමනිසා, අවම වශයෙන් සතියකට වරක්වත්, නිවස තුළ සහ අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා ඒවා විනාශ කිරීම කල යුතුවේ.

 

ඩෙංගු උණ රෝග ලක්ෂණ මොනවාද?

  • තද උණ.
  • හිසරදය.
  • වමනය හෝ ඔක්කාරය.
  • ඇඟපත වේදනාව.
  • ඇස් යට වේදනාව.
  • මුහුණ සහ උඩුකය රතුපැහැ වීම.
  • සමෙහි කුඩා රතුපැහැ (ලේ) පැල්ලම් මතුවීම.
  • ඇතැම්විට, සුලු වශයෙන් ලේ ගැලීමේ තත්ත්වයන් හටගැනීමට පුලුවන.

ඔබට හෝ ඔබේ දරුවාට දින දෙකකට වඩා උණ පවතී නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ලබාගැනීම කල යුතුවේ.

 

ඩෙංගු උණ රෝගයේ අවදානම් රෝග ලක්ෂණ

පහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීම ඉතා වැදගත් වේ. මෙම රෝග ලක්ෂණ උණ සෑදී තුන්වන දිනයේදී හෝ ඉන් පසුව වැඩි වශයෙන් දක්නට ලැබේ.

  • රෝගියා ආහාර හා දියර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
  • උණ බැසගියද, රෝග ලක්ෂණ වල වැඩිවීමක් ඇතිවීම.
  • උදරයේ තද වේදනාවක් ඇතිවීම.
  • අධික නිදිමත ස්වභාවය, නොරුස්සනා සුලුබව, අප්‍රාණිකත්වය, හෝ නොසන්සුන් බව.
  • පැය හයක් හෝ එයට වැඩි කාලයක් තුළ මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා තද පැහැයක් ගැනීම, හෝ මුත්‍රා පිට නොවීම.
  • රුධිර වහනය වීමේ තත්ත්වයන් හටගැනීම (නාසයෙන්, විදුරුමස් වලින්, සමෙන්, යෝනි මාර්ගයෙන්): කලු හෝ දුඹුරු පැහැයට වමනය පිටවීම හෝ මළපහ පිටවීම.

 

ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම්, කුමක් කල යුතුද?

  • වෙහෙස වන්න එපා. විවේකයෙන් සිටින්න. රෝගී දරුවන් පාසල් යැවීමෙන් වළකින්න.
  • උණ පවතින කාලය තුළ හැකිතරම් මදුරු දැළක් තුළට වී විවේකයෙන් සිටින්න.
  • උණ සඳහා නියමිත මාත්‍රාවෙන් සහ නියමිත කාල පරාසයන් තුළ පමණක් පැරසිටමෝල් ඖෂධය ලබාගන්න.
  • වේදනාව හෝ උණ සමනය කිරීම සඳහා කිසිවිටෙකවත් ඇස්පිරින්, ස්ටෙරොයිඩ් වර්ගයේ වේදනා නාශක (ඩයික්ලොෆෙනැක්, ඉබියුප්‍රොෆන්, මෙෆෙනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින් වැනි), හෝ වෙනත් වේදනා නාශක ලබාදෙන්න එපා. එවැනි ඖෂධ ගුද මාර්ගය ඔස්සේ (Suppository) ලබාදීමෙන් ද වළකින්න.
  • ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කරන්න. මේ සඳහා සුප්, කැඳ, ජීවනී, පළතුරු යුෂ, සහ කිරි වඩාත් සුදුසු වේ.
  • පහසුවෙන් ජීර්ණය වන සැහැල්ලු ආහාර ගන්න. රතු, දුඹුරු, හෝ කලු පැහැති ආහාර ගැනීමෙන් වළකින්න. එවන් ආහාර ගැනීමෙන්, වමනය වනවිට හෝ මළපහ සමග රුධිරය පිටවනවාදැයි නිරීක්ෂණය කිරීම අපහසු වේ.
  • සැමවිටම, ඩෙංගු රෝගය සඳහා සුදුසු යැයි ප්‍රචාරය වන ව්‍යාජ ඖෂධ හා අත්බෙහෙත් භාවිතා කිරීමෙන් වළකින්න.

 

ඩෙංගු රෝගය වැළැක්වීමට ඔබේ පරිසරය පිරිසිදු කරගන්නේ කෙසේද?

ඩෙංගු මාරයාගේ ඊළඟ ගොදුර ඔබ හෝ ඔබේ දරුවා වියහැක. එමනිසා, හැකිතරම්, ඔබේ නිවස සහ අවට පරිසරය ඩෙංගු මදුරුවාට බෝවිය හැකි ස්ථාන වලින් තොරව පිරිසිදුව තබාගන්න.

  • ඉවතලන වීදුරු බඳුන්, බෝතල්, ප්ලාස්ටික්, ටින්, බාල්දි, මැටි බඳුන් ආදිය,
    • ප්‍රතිචක්‍රීයකරණය කරන්න.
    • විනාශ කරන්න.
    • විකුණා මුදල් උපයා ගන්න.
    • වළලා දමන්න.
    • ජලය නොරැඳෙන සේ තලා දමන්න.
  • ඉවතලන ටයර්,
    • වලට ජලය නොරැඳෙන සේ වැලි පුරවන්න.
    • ජලය නොරැඳෙන සේ සිදුරු කරන්න.
    • ජලය නොරැඳෙන සේ ගබඩා කරන්න.
  • ඩෙංගු මදුරුවාගේ බිත්තර ඇලෙන සුළු බැවින්, වතුර ටැංකි, මල් බඳුන්, බැරල්, ශීතකරණ තැටිය අවම වශයෙන් සතියකට වරක්වත් බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරගන්න.
  • නිවසේ වැහි පිහිලි වල සිරවී ඇති කොළ රොඩු නිතර ඉවත්කර පිරිසිදු කරන්න. හැඩය වෙනස් වී ඇති හෝ පිරිසිදු කල නොහැකි වැහි පිහිලි ගලවා ඉවත්කරන්න.
  • ජලය රැඳෙන බ්‍රොමීලියා වැනි ශාඛ ඉවත්කරන්න. එවැනි ශාඛ වගා කිරීමෙන් ද වළකින්න.
  • ජලය රැඳීමට හැකි ගස් බෙන, උණ පුරුක් වැනි ස්ථාන ජලය නොරැඳෙන සේ තබාගැනීමට සැලකිලිමත් වන්න.

මාරාන්තික ඩෙංගු රෝගයෙන් වැළකීමට අප සැවොම එකතු විය යුතුය. නිවසේ සහ අප අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කල යුතුය. එය, අප සැමගේ යුතුකමක් මෙන්ම, වගකීමක් ද වේ.

 

මූලාශ්‍රය: ඩෙංගු මර්ධන ඒකකය, සෞඛ්‍ය අමාත්‍යංශය

 

(ඡායාරූප අනුග්‍රහය: Oregon State University)

 

සබැඳි ලිපි:

තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?
ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?
මී උණ රෝගය (Leptospirosis) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*