විටමින් E වැඩිපුර ගැනීම අවදානම්!

විටමින් E වැඩිපුර ගැනීමෙන් වන හානි මොනවාද?

ඇතැම් කාන්තාවන්, විවිධ රූපලාවන්‍ය ගැටළු වලට පිළියමක් ලෙස, විටමින් E විවිධ ආකාරයෙන් ලබාගන්නා අයුරු දක්නට ලැබේ. එවැනි රූපලාවන්‍ය ගැටළු අතර, අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටළු බහුලව දක්නට ලැබේ. නමුත්, විටමින් ඌණතාවයක් ඇතැයි විධිමත් අයුරින් හඳුනාගැනීමකින් තොරව, හිතුමතේ විටමින් E පමණක් නොව වෙනත් විටමින් වර්ග ද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් ඌණතාවයක් නොමැතිව, හිතුමතේ විටමින් වර්ග ගැනීමෙන්, වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ ඔබේ සෞඛ්‍යයට හානියක් බව සිතට ගැනීම වැදගත් වේ. මෙසේ, විටමින් E වැඩිපුර ගැනීමෙන් වන හානි මොනවාද?

විටමින් E යනු මේදයේ දියවන, ජලයේ දිය නොවන විටමින් වර්ගයක් වේ. එමනිසා, ශරීරය තුළ විටමින් E ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (Red blood cells) නිෂ්පාදනයට මෙන්ම, රුධිරය කැටිගැසීමේ යාන්ත්‍රණයට වැදගත් වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. එයට අමතරව, අපේ ශරීරය තුළ විටමින් E මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වන බැවින්, මුක්ත ඛණ්ඩක (Free-radicals) සහ මේදය මගින්, ශරීරයේ අවයව, අස්ථි, සහ පටක වලට හානි සිදුවීම වළක්වයි. කෙසේ වුවත්, විටමින් E වැඩිපුර ගැනීමෙන්, ඇතැම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානමක් හටගනී.

විටමින් E මේදයේ දියවන බැවින්, මේද පටක වල ගබඩා වීම සිදුවේ. වැඩිපුර ගන්නා විටමින් E ද, මෙලෙස මේද පටක වල ගබඩා වීම නිසා, ශරීරයෙන් පහසුවෙන් ඉවත් නොවේ. මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයේ (the University of Maryland Medical Center) පර්යේෂකයන් කණ්ඩායමකට අනුව, විටමින් E වැඩිපුර ගැනීමෙන්, සාමාන්‍ය පරිදි ලේ කැටිගැසීම අකර්මණ්‍ය වීම සිදුවේ. සාමාන්‍ය පරිදි ලේ කැටිගැසීම, බාහිර තුවාළයකින් රුධිර වහනය වීම සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම වැළැක්වීමට ඉතා වැදගත් වේ. ඔබ දැනටමත්, ප්‍රතිකාරයක් ලෙස රුධිරය කැටිගැසීම අඩුකිරීම සඳහා ඇස්පිරින් (Aspirin), වෝෆරින් (Warfarin), හෝ ක්ලොපිඩොග්‍රල් (Clopidogrel) වැනි ඖෂධයක් ලබාගනිමින් සිටී නම්, විටමින් E වැඩිපුර ගැනීම, ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ඉබේම රුධිර වහනයක් සිදුවීමට ඇති අවදානම තවදුරටත් වැඩිකරයි. විටමින් E අතිරේකයක් ලෙස ගැනීම, ශල්‍යකර්මයක් අතරතුර රුධිරය වහනය වීමේ අවදානම වැඩිකරන බව, ලයිනස් පෝලින් ආයතනයේ (the Linus Pauling Institute) පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

විටමින් E වැඩිපුර ගැනීම මගින්, එය අනෙක් ඖෂධ වර්ග ගණනාවක් සමග අන්තර්ක්‍රියා කිරීම ද, සිදුවේ. මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයට අනුව, විටමින් E මගින් ප්‍රතිවිශාද (Antidepressant) ඖෂධ ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන බවත්, එමගින් එම ඖෂධ වල ක්‍රියාකාරීත්වය අඩුකරන බවත් දක්නට ලැබේ. විශේෂයෙන් මෙය, ඩෙසිප්‍රමීන් (Desipramine) නැමැති ඖෂධයේ සිදුවේ. එයට අමතරව, විටමින් E මගින්, ක්ලෝප්‍රොමසින් (Chlorpromazine), අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඇතැම් ඖෂධ, සහ කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට ලබාදෙන ස්ටැටින් (Statin) වර්ගයේ ඖෂධ, ශරීරයට අවශෝෂණය කරගැනීමද සැලකිය යුතු ලෙස අඩුකරයි. එමෙන්ම, පිළිකා වලට රසායනික චිකිත්සා (Chemotherapy) ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ වල ඵලදායීතාවයද, විටමින් E මගින් අඩුකරන බවට සාක්ෂි ලැබී ඇත.

වැඩිහිටියන් සඳහා, විටමින් E වල ශරීරයට වන හානිය අවම වන පරිදි ගතහැකි උපරිම ප්‍රමාණය, දිනකට අන්තර්ජාතික ඒකක (International units) 1500 ක් වේ. කුඩා දරුවන් සඳහා එම අගය දිනකට අන්තර්ජාතික ඒකක 300 ක් වන අතර, නවයොවුන් දරුවන් සඳහා එය දිනකට අන්තර්ජාතික ඒකක 1200 ක් වේ. කෙසේ වුවත්, සාමාන්‍ය පරිදි සෞඛ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය වන නිර්දේශිත ප්‍රමාණයන්, ඉහත අගයන් වලට වඩා සැලකිය යුතු ලෙස අඩුය. නවයොවුන් දරුවන් සහ වැඩිහිටියන් සඳහා දිනකට අවශ්‍ය වන්නේ විටමින් E අන්තර්ජාතික ඒකක 22.5 ක් පමණය. මව්කිරි දෙන මව්වරුන් සඳහා මෙම අගය, දිනකට අන්තර්ජාතික ඒකක 28.5 කි. කුඩා දරුවන් සඳහා දිනකට අවශ්‍ය වන විටමින් E ප්‍රමාණය, අන්තර්ජාතික ඒකක 6-16.5 ක් පමණ වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: John Liu)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "විටමින් E වැඩිපුර ගැනීම අවදානම්!"

  1. Niduk Madushan | December 19, 2018 at 5:27 pm | Reply

    Mahath wenna widiyak nadda??

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | June 10, 2019 at 5:25 pm | Reply

      ඔබ සිටින ප්‍රදේශයේ රජයේ රෝහලක පෝෂණ සායනයට (Nutrition Clinic) සහභාගී වන්න.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*