වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද

වේදනාකාරී ඔසප්වීම ඇති කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමක් මින් පෙර ලිපියේ අප සඳහන් කලා. මෙම තත්ත්වය ඇති කාන්තාවක් නාරිවේදය සහ ප්‍රසවවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීම වඩා උචිත වේ. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, වෛද්‍යවරයා හමුවීමට ඔබ සූදානම් විය යුත්තේ කෙසේද සහ වේදනාකාරී ඔසප්වීමට ඇති ප්‍රතිකර්ම පිළිබඳව පැහැදිලි කිරීමයි.

 

වෛද්‍යවරයා වෙත පැවසීමට මතක තබාගත යුතු කරුණු මොනවාද?

ඔබේ රෝගය හා සම්බන්ධ ඇතැම් වැදගත් කරුණු, ප්‍රතිකාර නියම කිරීම සඳහා වෛද්‍යවරයාට වැදගත් වේ. ඒවා නම්:

  • රෝග ලක්ෂණ නිසා ඔබේ එදිනෙදා දිවියට කොතරම් බලපෑමක් සිදුවන්නේද යන්න.
  • වේදනාකාරී ඔසප්වීම ආරම්භ වූයේ කවදාද?
  • ඔබට ඇති වෙනත් සෞඛ්‍ය ගැටළු සහ රෝග.
  • ඔබේ පවුලේ සාමාජිකයන්ට ඇති සෞඛ්‍ය ගැටළු සහ රෝග.
  • ඔබ දැනට ගන්නා ඖෂධ.

 

ඔබේ වෛද්‍යවරයා පහත තොරතුරු ඔබෙන් විමසා සිටිනු ඇත.

  • ඔබ වැඩිවිය පැමිණි වයස.
  • ඔබගේ ඔසප්වීම සිදුවන්නේ කොපමණ දින ගණනකට වරක්ද?
  • ඔසප්වීම කොපමණ දින ගණනක් පවතිනවාද?
  • ඔසප්වීම කොතරම් දරුණු ලෙස පවතිනවාද?
  • ඔසප්වීම සිදුවන වාර දෙකක් අතර රුධිර වහනයක් සිදුවනවාද?
  • ඔසප් වනවිට වේදනාව ඇතිවන්නේ ශරීරයේ කුමන ස්ථාන වලද?
  • වේදනාකාරී ඔසප්වීම සමග වමනය, ඔක්කාරය, දියර ලෙස මළපහ පිටවීම, කොන්දේ වේදනාව, කරකැවිල්ල, හිසරදය වැනි රෝග ලක්ෂණ පවතීද?
  • ඔබගේ රෝග ලක්ෂණ, ඔසප්වීම සිදුවන කාලයේදී පමණක් නොව වෙනත් අවස්ථා වලදීද පවතීද?
  • ඔබේ රෝග ලක්ෂණ නිසා එදිනෙදා දිවියට කොතරම් බලපෑමක් සිදුවේද?
  • ඔබ විවාහක නම්, ලිංගිකව එක්වීමේදී වේදනාවක් ඇතිවේද?
  • මින් පෙර වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර ගෙන තිබේද? ඒ මොනවාද?
  • ඔබේ පවුලේ සාමාජික අනෙක් කාන්තාවන්ටද සමාන රෝග ලක්ෂණ තිබෙනවාද? නැත්නම්, තිබුනාද?

 

වෛද්‍යවරයා හමුවී ප්‍රතිකාර ගන්නා තෙක් රෝග ලක්ෂණ සමනය කරගන්නේ කොහොමද?

ඇතැම් සරළ උපක්‍රම මගින්, වේදනාකාරී ඔසප්වීමට යම් සහනයක් ලබාගත හැක. ඒවා නම්:

  • මද උණුසුම් ජලයෙන් ස්නානය කිරීම.
  • යටිබඩ, කලවා, සහ කොන්දේ පහළ ප්‍රදේශය මද උණුසුම් ජලයෙන් තැවීම.
  • අවශ්‍ය පරිදි පැරසිටමෝල් භාවිතා කිරීම.

 

පරීක්ෂා කිරීම, පරීක්ෂණ පැවැත්වීම, සහ රෝග නිර්ණය කරන්නේ කෙසේද?

ඔබේ රෝග ඉතිහාසය විමසා බැලීමෙන් අනතුරුව වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කර බලනු ඇත. එහිදී, ඔබේ උදරය සහ (ඔබ විවාහක නම්) යෝනි මාර්ගය තුළින් ඔබේ ශ්‍රෝණි කුහරය පරීක්ෂා කර බලනු ඇත. ශ්‍රෝණි කුහරය පරීක්ෂා කිරීමේදී, ඔබේ අභ්‍යන්තර ප්‍රජනක අවයව වල තත්ත්වය සහ එහි ආසාදනයක් ඇතිදැයි අවබෝධයක් වෛද්‍යවරයාට ලැබේ. ඔබට වේදනාකාරී ඔසප්වීම ඇතිවන්නේ යම් අභ්‍යන්තර රෝගයක් හෝ තත්ත්වයක් ඇති නිසා යැයි සැකයක් වෛද්‍යවරයාට ඇතිවුවහොත්, පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නියම කරනු ඇත.

  • අතිධ්වනි තරංග ස්කෑන් (Ultrasound scan) පරීක්ෂණය

මෙම පරීක්ෂණය මගින් ගර්භාෂය, ගැබ්ගෙල, ෆැලෝපීය නාල, ඩිම්බ කෝෂ, සහ ශ්‍රෝණි කුහරයේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ දැනගත හැක.

  • ලැපරොස්කොපි (Laparoscopy) පරීක්ෂණය

උදර කුහරයේ කුඩා සිදුරු කිහිපයක් තුළින් සිහින් කැමරාවක් ඇතුළුකර උදර කුහරය පරීක්ෂාකර බැලීමට යොදාගන්නා මෙම පරීක්ෂණය, වේදනාකාරී ඔසප්වීම නිර්ණය කිරීමට අනිවාර්යයෙන් කලයුතු පරීක්ෂණයක් නොවූවද, වේදනාකාරී ඔසප්වීම ඇතිකරන එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis), තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid), උදර කුහරයේ අවයව එකිනෙක ඇලීම (Adhesion), ඩිම්බ කෝෂවල කෝෂ්ඨ (Ovarian cysts) හටගැනීම, ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම (Ectopic pregnancy) වැනි වෙනත් තත්ත්ව හඳුනාගැනීමට ඉවහල් වේ.

 

වේදනාකාරී ඔසප්වීමට ඇති ප්‍රතිකර්ම මොනවාද?

රෝග නිර්ණය කිරීමෙන් අනතුරුව ඔබේ වෛද්‍යවරයා ප්‍රතිකාර නියම කරනු ඇත. ඒවා නම්:

  • වේදනා නාශක

ඔසප්වීම ආරම්භ වීමට දිනයකට හෝ දෙකකට පෙර සිට ගැනීමට වේදනා නාශක නියම කරනු ඇත. මේ සඳහා බොහෝ විට ලබාදෙන්නේ පැරසිටමෝල් සහ මෙෆෙනමික් අම්ලය (Mefenamic acid) වැනි වේදනා නාශකයි. මේවා දිගුකාලයක් තිස්සේ ගැනීම සුදුසු නොවන අතර, ඔබේ වෛද්‍යවරයා දින කිහිපයකට පමණක් වේදනා නාශක ගැනීමට නිර්දේශ කරනු ඇත.

  • පවුල් සැලසුම් පෙති

පවුල් සැලසුම් පෙති වල ඇති හෝමෝන මගින් ඩිම්බ මෝචනය වැළැක්වීම මෙන්ම වේදනාකාරී ඔසප්වීම සමනය කිරීමද සිදුකරයි. මේ සඳහා හෝමෝන සහිත අනෙක් පවුල් සැලසුම් ක්‍රමද භාවිතා කලහැක.

  • ශල්‍යකර්ම

එන්ඩොමෙට්‍රියෝසිස් හෝ තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් වැනි අභ්‍යන්තර තත්ත්ව නිසා වේදනාකාරී ඔසප්වීම සිදුවන්නේ නම්, එය ශල්‍යකර්මයක් මගින් නිවැරදි කලවිට ඔබේ රෝග ලක්ෂණ පහව යනු ඇත. බොහෝ විට මෙම ශල්‍යකර්ම, උදරයේ විශාල කැපුමක් සිදුනොකර කුඩා සිදුරු කිහිපයක් තුළින් ලැපරොස්කොපි ක්‍රමයට සිදුකිරීමටද හැකියාව පවතී.

 

වේදනාකාරී ඔසප්වීම සමනය කරගැනීමට ඔබට නිවසේදී කලහැකි උපක්‍රම මොනවාද?

  • ව්‍යායාම

නිතර ව්‍යායාම කිරීම මගින් වේදනාකාරී ඔසප්වීම අඩුවන බව පර්යේෂණ මගින්ද තහවුරු වී ඇත.

  • උණු ජලය

මද උණුසුම් ජලයෙන් ස්නානය කිරීම සහ උදරය, කලවා, කොන්දේ පහළ ප්‍රදේශය මද උණුසුම් ජලයෙන් තැවීම මගින් ඔසප්වීමේදී ඇතිවන වේදනාව අඩුවේ.

  • ආහාර අතිරේක (Dietary supplements)

විටමින් E, ඔමේගා-3-මේද අම්ල (Omega-3-fatty acids), විටමින් B1 (තයමින්), විටමින් B6, සහ මැග්නීසියම් අඩංගු ආහාර අතිරේක මගින් ඔසප්වීමේදී ඇතිවන වේදනාව සමනය වනබව පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී ඇත.

  • මත්පැන්, දුම්පානය, සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම.

මේවා, වේදනාකාරී ඔසප්වීම දරුණු තත්ත්වයකට පත්කරයි.

මානසික ආතතිය මගින් වේදනාකාරී ඔසප්වීම වැළඳීමට ඇති අවදානම වැඩිකරන අතර, එය උත්සන්න කිරීමද සිදුකරයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Holly Lay)

 

සබැඳි ලිපි:

වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය
අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*