අධික රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝනොවන රෝග තත්ත්වයකි. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාල වල බිත්ති මත දිගුකාලීනව දැඩි පීඩනයක් ඇතිවන අතර, එමගින් විවිධ සංකූලතා ඇතිවිය හැක. එමනිසා, අධික රුධිර පීඩනය ගැන දැනගැනීම වැදගත් වේ.
ඔබේ හෘදය මගින් රුධිරය පොම්ප කරන පරිමාව සහ රුධිරය ගලායාමට එරෙහිව රුධිර වාහිනී තුළ ඇතිවන ප්‍රතිරෝධය යන සාධක මත රුධිර පීඩනය රඳා පවතී. එනම්, ඔබේ හෘදය වැඩි රුධිර පරිමාවක් පොම්ප කරන්නේ නම් හෝ ධමනි වල කුහරය පටු නම්, ඔබේ රුධිර පීඩනය වැඩිවේ. සාමාන්‍යයෙන්, රුධිර පීඩනය අගයයන් දෙකකින් නිරූපනය කරන අතර, රුධිර පීඩනය රසදිය මිලිමීටර් (mmHg) වලින් මනිනු ලැබේ. උදාහරණයක් ලෙස එය 120/80 mmHg ලෙස දක්වයි. එහි මුලින්ම ඇති වැඩි අගය, ඔබේ හෘදය මගින් රුධිරය පොම්ප කිරීම නිසා ඇතිවන අතර, එය සංන්‍යස්ත පීඩනය (Systolic pressure) නම් වේ. දෙවැනියට ඇති අඩු අගය, ධමනි තුළ රුධිරය ගලායාමට ඇති ප්‍රතිරෝධය නිසා ඇතිවන අතර, එය වින්‍යස්ත පීඩනය (Diastolic pressure) නම් වේ.
කිසිඳු රෝග ලක්ෂණයකින් තොරව වසර ගණනාවක් තිස්සේ අධික රුධිර පීඩනය පැවතිය හැකිවීම විශේෂ ලක්ෂණයකි. කිසිඳු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද, අධික රුධිර පීඩනය, ඔබේ හෘදයට සහ රුධිර වාහිනී වලට හානි කිරීමට සමත් ය. පාලනයකින් තොරව අධික රුධිර පීඩනය කාලයක් තිස්සේ පැවතීමෙන්, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, වකුගඩු රෝගය වැනි දරුණු රෝග තත්ත්ව වැළඳීමට ඇති අවදානම වැඩිවේ. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 1.5% ක් සිදුවන්නේ අධික රුධිර පීඩනය සෘජුවම බලපෑම නිසා වීම, මෙම රෝගයේ දරුණු ස්වභාවය පැහැදිලි කරයි. 2014 වසරේදී, රෝහල්ගත වූ ඩෙංගු රෝගීන් අතරින් 0.2% ක් මිය යද්දී, එම වසරේදීම අධික රුධිර පීඩනය ඇතිව රෝහල්ගත වූවන්ගෙන් 0.56% මියයාම එය තවත් පැහැදිලි කිරීමට සමත්ය.
සාමාන්‍යයෙන්, අධික රුධිර පීඩනය හටගන්නේ වසර ගණනාවක් තිස්සේ ය. එමනිසා, බොහෝදුරට සෑම අයෙක්ම පාහේ තම ජීවිත කාලය තුළ මෙම රෝගයට ගොදුරු වේ. වාසනාවකට මෙන්, අධික රුධිර පීඩනය පහසුවෙන් සොයාගත හැක. එමෙන්ම, ඔබට අධික රුධිරය වැළඳී ඇතැයි දැනගත් විගසම, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත කටයුතු කිරීමෙන්, එය පාලනය කරගැනීමට හැකියාව ඇත.
අධික රුධිර පීඩනයේ රෝග ලක්ෂණ මොනවාද?
අධික රුධිර පීඩනයට ගොදුරු වූ බොහෝ අයට (80-90% කට පමණ) කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. ඇතැම් විට, ඉතා දරුණු මට්ටමකට රුධිර පීඩනය වැඩි වූ විට පවා කිසිඳු රෝග ලක්ෂණයක් පහල නොවීම විශේෂ ලක්ෂණයකි.
මෙම රෝගය ඇති සුළු පිරිසකට පමණක් හිසරදය, හුස්ම ගැනීමේ අපහසුව, හෝ නාසයෙන් රුධිරය ගැලීම වැනි රෝග ලක්ෂණ හටගනී. නමුත්, මෙම රෝග ලක්ෂණ කිසිවක් අධික රුධිර පීඩනයට පමණක් ආවේනික ඒවා නොවන අතර, සාමාන්‍යයෙන් රුධිර පීඩනය ඉතා දරුණු මට්ටමකට හෝ ජීවිතයට හානියක් විය හැකි මට්ටමකට පත්වන තුරු හටගැනීම සිදු නොවේ.
වෛද්‍යවරයෙක් මුණගැසිය යුතු අවස්ථා මොනවාද?
සාමාන්‍යයෙන්, ඔබේ වෛද්‍යවරයා රුධිර පීඩනය පරීක්ෂා කරන විට, ඔබට අධික රුධිර පීඩනය ඇතැයි සොයාගැනීම සිදුවනු දැකිය හැක. එමනිසා, ඔබේ වයස අවුරුදු 18 ට වැඩි නම්, වසර 2 කට වරක් වත් රුධිර පීඩනය පරීක්ෂා කරගන්න. ඔබේ වයස අවුරුදු 40 කට වඩා වැඩි නම් හෝ ඔබ අධික රුධිර පීඩනය වැළඳීමට අවදානම වැඩි, වයස අවුරුදු 18-40 ක අයෙක් නම්, වසරකට වරක් වත් රුධිර පීඩනය පරීක්ෂා කරගන්න. සාමාන්‍යයෙන්, බාහු දෙකේම රුධිර පීඩනය මැන එහි අගයන් අතර වෙනසක් ඇතිදැයි පරීක්ෂා කල යුතුය. එහිදී, ඔබේ ශරීර ප්‍රමාණය අනුව, රුධිර පීඩනය මැනීමට භාවිතා කරන අත් පටියේ ප්‍රමාණය තීරණය කරනු ඇත. ඔබට අධික රුධිර පීඩනය ඇතැයි වෛද්‍යවරයා නිර්ණය කලහොත් හෝ ඔබට හෘද රෝගයක් වැළඳීමට අවදානම් සාධක ඇත්නම්, ඉහත කී කාලයන්ට වඩා ලඟ අවස්ථා වලදී රුධිර පීඩනය මැනීමට ඔබේ වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත.
අධික රුධිර පීඩනය වැළඳීමට හේතු මොනවාද?
අධික රුධිර පීඩනය වර්ග දෙකකට බෙදනු ලැබේ. ඒවා නම්,
- ප්‍රාථමික අධික රුධිර පීඩනය (Primary hypertension) හෙවත් තාත්ත්වික අධික රුධිර පීඩනය (Essential hypertension)
- ද්විතීයික අධික රුධිර පීඩනය (Secondary hypertensiom)
ප්‍රාථමික අධික රුධිර පීඩනය
බොහොමයක් වැඩිහිටියන්ට වැළඳෙන අධික රුධිර පීඩනය සඳහා කිසිඳු අභ්‍යන්තර හේතුවක් සොයාගත නොහැකිය. මෙම වර්ගය, ප්‍රාථමික හෙවත් තාත්ත්වික අධික රුධිර පීඩනය ලෙස හැඳින්වෙන අතර, වසර ගණනාවක් තිස්සේ වර්ධනය වේ.
ද්විතීයික අධික රුධිර පීඩනය
ඇතැම් අයට, ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් හෝ තත්ත්වයක් නිසා අධික රුධිර පීඩනය වැළඳෙන අතර, එය ද්විතීයික අධික රුධිර පීඩනය ලෙස හැඳින්වේ. මෙම වර්ගය කෙටි කාලයක් තුළ හටගන්නා අතර, සාමාන්‍යයෙන් රුධිර පීඩනය, ප්‍රාථමික අධික රුධිර පීඩනයට වඩා වැඩි අගයක් ගැනීම දැකිය හැක. විවිධ රෝග තත්ත්ව, රසායන ද්‍රව්‍ය, සහ ඖෂධ ද්විතීයික අධික රුධිර පීඩනය වැළඳීමට හේතු වේ. ඒවා නම්,
- වකුගඩු වල පවත්නා ගැටළු
- අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea)
- අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) වල පවතින ගැටිති හෝ ගෙඩි
- තයිරොයිඩ් ග්‍රන්ථියේ (Thyroid gland) ගැටළු
- උපතේ සිට රුධිර වාහිනී වල පවතින ඇතැම් ගැටළු
- ඇතැම් වේදනා නාශක, පවුල් සැලසුම් පෙති, ඇතුළු ඇතැම් ඖෂධ
- කොකේන්, ඇම්ෆිටමින් (Amphetamines) වැනි මත් ද්‍රව්‍ය
- අධිකව මත්පැන් පානය
- දිගුකාලීනව මත්පැන් පානය කිරීම
(ඡායාරූප අනුග්‍රහය: Helge V. Keitel)
සබැඳි ලිපි:
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…
අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?
අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.
ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.
© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්